සජිත්, ඩලස්ට සහාය දිය යුතුය…!!

-කේ. සංජීව-

එලබෙන ජූලි 20දා ඉතිහාසගත ඡන්දයක් පාර්ලිමේන්තුවේ පැවැත්වෙයි. ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේ ඉතිරි හරියේ රට පාලනය සඳහා රාජ්‍ය නායකයෙක් හොයන මේ රහස් පාර්ලිමේන්තු ඡන්දයට මේවනවිට හැටහුටහමාරක් ඉදිරිපත්වෙන බව සැලයි. මානම් මේ අර්බුදය සමග මුලින් හිතුවේ ‘ජාතික එකඟතා ජනාධිපතිවරයෙක්’ බිහිවී සර්වපාක්ෂික එකඟතා ආණ්ඩුවක් බිහිවෙනු ඇතැයි කියා යි. එහෙත් රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති තනතුරට පත්වීමත් සමග සහ ඔහු පොහොට්ටු පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා වීමත් සමග සියල්ල කනපිට පෙරළී ඇත.

බැසිල් රාජපක්ෂ තම කඳවුරේ අපේක්ෂකයා විදිහට රනිල් වික්‍රමසිංහ පත් කරන්නට තීරණය කිරීමත් සමග ඩලස් ජනපති සජිත් අගමැති සර්වපාක්ෂික ආණ්ඩුව යතාර්ථයක් නොවෙන බව පෙනෙයි. මුලින්ම ඩලස් ජනපති වන්නට යනවිට පොහොට්ටුවේ විරෝධයක් නොතිබුණ අතර වර්තමාන බැසිල් රාජපක්ෂගේ තීරණයත් සමග ඩලස් අලහප්පෙරුම පොහොට්ටුවෙන් එළියට වීසිවෙන තත්ත්වයක් උදාවී තිබෙයි. ඩලස් පමණක් නොව එළිපිට ඩලස්ට සහාය දෙන බොහෝ දෙනෙක් මන්ත්‍රීවරුන්ට හෙටානිද්දාට රාජපක්ෂවරුන් පස්සට කෙවිටපාර දෙනු ඇත..! වයසක උන්දෑ ජීඑල්වත් බේරේවිදැයි සැක සහිතය. නාමල් රාජපක්ෂ පිළිබඳව තවදුරටත් බලාපොරොත්තු තබාගන්නට නම්, වික්‍රමසිංහ මොන බිලක් ගෙවා හෝ ජනාධිපති කළ යුතුය. ඒ සඳහා රාජපක්ෂවරුන් සූදානම් බව දැනගන්නට ඇත.

මේ වනවිට ඇලෝසියස් පරපුරද රනිල් වෙනුවෙන් වැඩට බැස ඇති බව දැනගන්නට ඇත. ඩොලර් නැතිවුණත් රටට, රුපියල් එහේ මේහේ පියාඹා යන්නට පුලුවන් ය. වැලේ වැල් නැතුව අනාථ වී සිටි හරින්-මනූෂ මන්ත්‍රී ඩබලද ඩබල් එකේම ගේමට බැස ඇත. රංජන් රාමනායකද හෙටානිද්දාට එළියට එනු ඇත. ඒ අහු අස්සේ ඩලස් ගැන මඩ ප්‍රචාරද කනින්කොනින් ඇසෙයි. කොහොමින් කොහොම හෝ සර්වපාක්ෂික ආණ්ඩුවට ලත් තැනම ලොප් වන්නට නියමිතය. රනිල් වික්‍රමසිංහ ආවොත් එහෙම ආණ්ඩුවක් තැනෙන්න අවකාශ නැත. ඒ වෙනුවට නැවත පොහොට්ටු ආණ්ඩුවක් සෑදෙනු ඇත.

මේ වනවිට තරගය තිබෙන්නේ ඩලස් සහ රනිල් අතරය. එනිසා මගේනම් අදහස (මේ ලියන මොහොතට අනුව) සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය මේ වෙලාවේ ඩලස්ට සිය සහාය දියයුතු බවය. නැතිනම් ජයග්‍රහනයට මීටවඩා බර තබා කටයුතු කළ යුතුය. එහෙත් එය යතාර්ථවාදී නැති බව පෙනෙයි. එය එසේ නම් සජිත් සිය අපේක්ෂකත්වය හකුලා ගත යුතුය. දෙමළ ජාතික සන්ධානය මේ වෙලාවේ කුමක් කරනු ඇතිදැයි දන්නේ නැත. ඔවුන් ගේ සහාය ඉන්දි-ඇමරිකානු හිතවාදියෙකුට ලැබෙනු ඇත.

අරගලකරුවන් ජයග්‍රහනය කරන්නේ ඩලස් ජනපතිවී සජිත් අගමැති වී ආණ්ඩුවක් සෑදුවොත් පමණය. ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා හොඳ අදහසක් සජිත් ප්‍රමුඛ සජබට තිබෙනු පෙනෙයි. එනිසා එම අදහස ඉටුකරගන්නට වුණත් හැකිවෙනු ඇත්තේ මේ අවස්ථාවේ සර්වපාක්ෂික සමගි ආණ්ඩුවක් නිර්මානය වුණොත් පමණය. ඒ සඳහා ඩලස් සජිත් සාකච්ඡාවන් පවා පසුගිය කාලයේදී සිදුවිය. එහෙත් රනිලාගමනය විසින් ඒ සියල්ල කුණුකූඩයට වීසිකර දැමීමේ අනතුරක් තිබෙයි. ‍රනිල් අපේක්ෂාත්වයට එන්නේම පාර්ලිමේන්තුව කලින් විසුරුවා නොහරින්නේමය කියන පොහොට්ටුවට දුන් පොරොන්දුව සමග බව දැනගන්නට ඇත. එය එසේනම් බොහෝ පාර්ශව වලින් නැඟෙන මැතිවරණ ඉල්ලීමද කුණුකූඩයට යනු ඇත.

ඉදිරි කාලයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා කියා විශේෂයෙන් කරන්නට දෙයක් නැත. තිබෙන එකම කරුණ IMF සාකච්ඡාවන් සාර්ථක කරගැනීම සහ ඒ මඟ නිවැරදි එල්ලයක ගමන් කිරීමය. එම කාර්‍ය ඩලස් අලහප්පෙරුමට බෑ යැයි කෙනෙක් තර්ක කරනවා නම් ඒක හුදු පිස්සුවක් පමණි. මේ වෙලාවේ රටට අවශ්‍ය වන්නේ සියලු පක්ෂ එකට එකතුවුණ ආණ්ඩුකරණයක් ය. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ බාධකයක් ය. ඒ බාධාව ඉවත් කළ යුතුය.

අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ගෙදර යෑම අරගලයේ එක ඉල්ලීමක් ය. එවැනි පුද්ගලයෙක් රාජපක්ෂ මාෆියාව විසින් නැවත වටයකින් හොර පාරෙන් ජනාධිපති කරයි නම් එය ජනතා අභිලාෂයන්ට පස්ස හැරවීමක් ය. මේ අවස්ථාවේ රට වැටී තිබෙන තත්ත්වය තුළ ජනතාව ප්‍රතික්ෂේප කරන නායකයෙක් රාජ්‍ය නායකයා විදිහට ජනතා පරමාධිපත්‍ය විහිළුවක් බවට පත් කරමින් බලයට ගෙන එයිනම් ජනතාව නිකං හිඳින එකක් නැත. එය නැවත වටයකින් ජනතා නැඟිටීමකට පාර කපනු ඇත. එය එසේ වුණොත් නැවත වතාවක් රට අස්ථාවර තත්ත්වයට පත්වෙනු ඇත. එය සමහර විටෙක සිවිල් යුධ තත්ත්වයක් වුණත් නිර්මානය කළ හැකිය. මාස 06 න් හයට ජනාධිපතිවරුන් තෝරන්නට බලාගෙන මෙවර අප ජනාධිපතිවරයෙක් තෝරා නොගත යුතුය.

එනිසා මේ අවස්ථාවේ විපක්ෂය කැබලිවලට නොබෙදී රාජපක්ෂවරුන් දමන අපේක්ෂකයාට විරුද්ධව සිටගත යුතුය. ඒ සඳහා ඩලස්ට සිය සහාය විපක්ෂය දෙන්නේ නම් එය රනිල් වික්‍රමසිංහට විශාල අභියෝගයක් වෙනු ඇත.

මේ වෙනවිට අනුර කුමාර දිසානායකද තරගයට එන බව කියයි. මෙම තීරණය රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩිකිරීම සඳහා ගත් උත්සාහයක් බව මට පෙනෙයි. හරිනම් ජාජාබ ඩලස්ට සහාය දිය යුතුය. ඒ රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහාය. කෙසේ වුණත් විපක්ෂය දෙකට තුනට කැඩී අපේක්ෂකයන් ඉදිරිපත් කළහොත් රනිල් වික්‍රමසිංහ ලේසියෙන්ම ජනාධිපති වෙනු ඇත..!!!

Social Sharing
නවතම විශේෂාංග