අප එළඹ සිටින ඓතිහාසික මංසන්ධිය

මෙරටේ කාලයක් තිස්සේම පවතින්නේ මැතිවරණ ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී හා දූෂිත බව මතින් නිර්මාණය වූ විකෘති පාර්ලිමේන්තුවකි. දූෂිත දේශපාලන ප්‍රභූ කල්ලි විසින් එය නිර්මාණය කරගනු ලබන්නේ නිර්බාධිතව ප්‍රකාශ වන මහජන ස්වච්ඡන්දය මතින් නොවේ. ඉතා විශාල වශයෙන් කෘතිම ලෙස නිෂ්පාදනය කරනු ලබන ව්‍යාජ ජනමතයක් ( fabricated public opinion ) හරහාය. එබැවින් ආණ්ඩුවක මහජන වරම යනු මහා බොරුවක් පමණි.

මැයි 09 දා හිටපු අගමැතිගේ ‘බිඳ වැටීම’ සමගම පැවති ආණ්ඩුවේ ප්‍රකාශිත සුජාතබවත් නිල වශයෙන් අහෝසි විය. ඉන්පසු ජනතා විරෝධයට පාත්‍රව සිටින ජනාධිපති විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජ වහන්තරාව පවා විසිකොට අගමැතිවරයෙක් පත් කොට ගෙන ආණ්ඩුවක් අටවා ගත්තේය.

එයින් මේ විකාරරූපී පාර්ලිමේන්තුව තවත් යම් කලකට ආරක්ෂා වූවා විය හැකිය . එහෙත් එයට දැවෙන ජනතා අභිලාෂයන් කිසිවක් තෘප්ත කළ නොහැකි බව අමුතුවෙන් තහවුරු කිරිම අවශ්‍ය නොවේ. එපමණක් නොව ජනතාවගේ හිස මත මේ මොහොතේ ලඹදෙන බිහිසුණු ඉරණම නියත ලෙස වැළැක්වීමට හෝ ඊට නොහැකිය.

අප ඉදිරියට පැමිණ ඇති ආර්ථික හා මානවීය විනාශය තීරණාත්මක ලෙස වලක්වා අපේ ඉරණම යහපත් දිශාවක් දෙසට හැරවීමේ මුල් පියවර තැබීමට නම් මෙම පාර්ලිමේන්තුව අරා සිටි සොරුන් විසින් විදේශගත කරන ලද ඩොලර් බිලියන ගණන් වූ ජනතා ධන සම්පත් හැකි ප්‍රමාණයක් මෙන්ම ගජමිතුරු ධන කුවේරයන් බැංකු හරහා ගසා කන ලද බිලියන ගණන් දේශීය ණයද ආපසු ජනතාව වෙත ලබා ගන්නවා හැරෙන්නට වෙනත් සාධාරණ හෝ විශ්වාසවන්ත උපායමාර්ගයක් නොමැත. එවැනි පියවරකට පිටුබලය දෙන ජන හිතෛෂී ආණ්ඩුකරණ ක්‍රමය කුමක්ද ? ඒ මාවත නොගෙන හොරුන්ද ආරක්ෂා කරගෙන පවතින දූෂිත -විකෘති පාර්ලිමේන්තු හා ආණ්ඩුකරණ මාවතේම තවදුරටත් අප යනවා කියන්නේ ලෝකයේ මානුෂිය ආධාර නිසා පූර්ණ අහේනියෙන් ගොඩ ආවත් දිගටම හිඟන හා දීන රටක් ලෙසම ලංකාවට පවතින්නට සිදුවනු නියත බවයි.

ඉදින් එහි ස්වභාවයෙන්ම අඳුරු හා අසරණ අනාගතයක් රටට සහතික කිරීම දෙසට හැරී තිබෙන පාර්ලිමේන්තුව තුළ විපක්ෂය තව දුරටත් සිටීමෙන් කරන්නේ එම මහා ව්‍යසනකාරී බොරුවට යම් සංකේතාමක සුජාතබවක් ආරෝපණය කිරීම නොවේද ? එය නව ජනරජයක් ගැන සිහින දකින අවදිවෙමින් සිටින පුරවැසියන්ට , නැතහොත් හිස කෙලින් තබා ගත හැකි මානුෂික අනාගතයක් ඉල්ලා සිටින පොදු ජනතාවට කරන බලවත්ම ද්‍රෝහි කමක් නොවේද ?
මෙම දූෂිත ආණ්ඩුකරණ හා මැතිවරණ පර්‍යාය යටතේම මැතිවරණයක් ඉල්ලන විපක්ෂය අපේක්ෂා කරන්නේ මොනවාද ? එමගින් ආණ්ඩු මාරුවක් කළ හැකි බවට ඇති සහතිකය කුමක්ද ? එය පරාජය නියත සූදු පිටියකට යනවා වැනි දෙයක් නොවන්නේ ද?

ඉදින් එලෙස යම් හෙයකින් පවතින පර්‍යාය යටතේ පවත්වන මැතිවරණයකින් කිසියම් ආකාරයක ආණ්ඩු මාරුවක් සිදුවුනත් දේශපාලන භූමිය තුළ ආයෝජිත දැවැන්ත පරිමාණයේ අනීතික බලය සහ ධනය නිසා එම පාර්ලිමේන්තුවට නව දේශපාලන පර්‍යායක් නිර්මාණය කරගන්නට කිසිදු හැකියාවක් නොතිබෙනු ඇත. එබැවින් යුද්ධයෙන් පසු මෙතෙක් වර්ධනය වූ දේශපාලන – ආර්ථික හා සමාජ මහා අවුල තවත් දීර්ඝ වටයක් ඔස්සේ අලුත් අලුත් ඛේදවාචක ජනතාවට බෙදමින්, මෙතෙක් ආවා සේ, ඇදී යනවා විනා දීර්ඝකාලීන සාමයක් හා සහනයක් නම් අපට ලබා නොදෙනු ඇත. එමගින් සිදුවන බිහිසුණු විපාක අතර මේ රට ගොඩනැගීමට සමත් මානව සම්පත නොකඩවා බැහැරට ගලා යාම නිසා අපේ වඩාත් ඛේදනීය දුගීබව තවදුරටත් වර්ධනය වනු ඇත.

21 වන සියවසේ මේ වනවිට සිය උත්කෘෂ්ට රුවගුණ පෙන්වමින් පායා නැගී එන වඩා දියුණු මානව ශිෂ්ටාචාරයේ සාමාජිකයකු වශයෙන් ජාත්‍යන්තර ලෝකයට පිවිසීමට ඇත්තේ එකම එක දොරටුවකි. එය නිදහස , මානව ගෞරවය , සහජීවනය සහ පාරිසරික යුක්තිය අළලා යන නව සමාජ ගිවිසුමක් සනිටුහන් කරන්නාවූ ගම්භීර ජනතා ප්‍රකාශයක් (people’s charter ) මත ගොඩනැගෙන නව ජනරජයකින් විනා වෙනත් ලාබ ක්‍රමයකින් අපට විවෘත නොවනු ඇත!

ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන

Social Sharing
නවතම විශේෂාංග