වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මඩුවන් ඇල්ලීමේ කතාව..!!

ශ්‍රී ලංකාවේ ධීවරයින්, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මසුන් විශේෂ ඇතුළුව අලි මඩුවන් සහ අඟ මඩුවන්ද සෑම වසරකම අල්ලන බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

අලි මඩුවන් සහ අඟ මඩුවන් පොදුවේ මොබ්යුලා මඩුවන් ලෙස හඳුන්වයි. ඔවුන් මන්දගාමී ප්‍රජනන අනුපාත ඇති සතුන් බැවින් වෙනත් විශේෂ ඉලක්ක කොට යොදනා දැල් වලට හසු වීමෙන් පවා ඔවුන්ගේ ගහනයට විශාල බලපෑමක් එල්ල වීමට ඉඩ ඇත.

සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව විසින් අගය කරන ඔවුන්ගේ කරමල් සඳහා ඇති ඉල්ලුම වැඩි වීම, මඩුවන් අධික ලෙස ඝාතනයට හේතුවයි. 2010 ට පෙර, අමතර අස්වැන්න ලෙස අල්ලා ගත් මොබ්යුලා මඩුවන් බොහෝ විට මුහුදට මුදා හරිනු ලැබුවේ එකල ඉල්ලුමේ හිඟකම හේතුවෙනි. නමුත් කරමල් වෙළඳාම වර්ධනය වීමත් සමඟ එය වැඩි විය.

IUCN රතු ලැයිස්තුව යටතේ ශ්‍රී ලංකාවෙන් හමුවන මොබ්යුලා මඩුවන් විශේෂ හයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. එබැවින් ශ්‍රී ලංකාව මෙම විශේෂයන් ආරක්ෂා කිරීමට පියවර ගත යුතු අතර ජාත්‍යන්තර ගිවිසුම්වලට අත්සන් කර ඇතත්, ඒ කිසිවකට නීතිමය රැකවරණයක් නොලැබේ.
ශ්‍රී ලංකාවේ ධීවරයින්ට මෑතකදී සාගර අලි මඩුවෙක් හසු වූ අවස්ථාවේ, එය ගොඩබිමට ඇද ගැනීමට බැකෝ යන්ත්‍රයක් අවශ්‍ය විය. මන්ද සත්වයාගේ බර කිලෝග්‍රෑම් 800ක් (රාත්තල් 1800) කට ආසන්න බැවිනි. එය රුපියල් 170,000 කට එනම් ඩොලර් 470 කට අලෙවි විය.

මෙය ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය සිදුවීමක් නොවේ, සෑම වසරකම ධීවරයින් විසින් මොබ්යුලා මඩුවන් වන අලි මඩුවන් සහ අඟ මඩුවන් විශාල ප්‍රමාණයක් අල්ලයි.

පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් ගණනය කර ඇත්තේ මෙම වාර්ෂික ඇල්ලීම, ගෝලීය මසුන් ඇල්ලීම මගින් ඇස්තමේන්තු කල වාර්ෂික ඇල්ලීම ඉක්මවන බවයි. එබැවින් එය කලින් සිතුවාට වඩා බරපතල තත්වයක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේ ‘බ්ලු රිසෝසස් පදනමේ’ සහ එංගලන්තයේ හි ‘මැන්ටා පදනමේ’ පර්යේෂකයන් විසින් වසර නවයක අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ කටු වලිග අඟ මඩුවන් (Mobula mobular) විශේෂයේ ස්වාභාවික ගහන වර්ධනයට වඩා, බෙහෙවින් වැඩි අනුපාතයකින් මසුන් ඇල්ලීම සිදුවන බවයි. තවද සාගර අලි මඩුවන් හැර අනෙකුත් සියලුම මොබිලිඩ් මඩුවන්ගේ සාමාන්‍ය ජනගහන ප්‍රමාණය අඩුවෙමින් පවතින බව ද එය අවධාරණය කරයි.

නමුත් එම සතුන්ගේ ඉරණම ගැන බොහෝ කනස්සල්ලක් ඇත: මෑතකදී කිලෝග්‍රෑම් 800ක සතකු අල්ලා ගත්තද, වැඩි වශයෙන් අසුවනුයේ කුඩා සාගර අලි මඩුවන්ය. උන් නොවැඩුන සත්ත්වයින් වන අතර, එයින් පෙන්නුම් කරන්නේ ධීවරයින් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේ විශේෂ ස්ථාන භාවිතා කරන බවයි.

ගහනය අඩු වීම

සාගර අලි මඩුවන් හැර අනෙකුත් මොබිලිඩ් මඩුවන් විශේෂ පහක් ශ්‍රී ලංකා මුහුදේ වාර්තා වේ: කටු වලිග අඟ මඩුවන්, කුඹුක් මඩුවන් (M. tarapacana), නැමි වරල් අඟ මඩුවන් (M. thurstoni), කෙටි වරල් වාමන අඟ මඩුවන් (M. kuhlii) , සහ දිගු අං වාමන අඟ මඩුවන් (M. eregoodoo) යන සියල්ල IUCN රතු ලැයිස්තුවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ ලෙස වර්ගීකරණය කර ඇත.

මඩුවන්, මෝරුන්ට සමීපව සම්බන්ධ වන අතර, වැඩීමට ප්‍රමාද වීම, මන්දගාමී ප්‍රජනන අනුපාතය සහ දිගු ගැබ් ගැනීම් කාලයක් ඇති බැවින්, එම මසුන් ඇල්ලීම අවම මට්ටමේ සිට මධ්‍යස්ථ මට්ටමකින් වුවද, ඔවුන්ගේ ගහනය ඉතා ඉක්මනින් පහත වැටීමට හේතු විය හැකි බව සම කර්තෘ සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු සහබ්ලු රිසෝසස් පදනමෙහි සම නිර්මාතෘ ඩැනියෙල් ප්‍රනාන්දු පැවසීය. මෙම අධ්‍යයනය මගින් ශ්‍රී ලංකාවේ විවිධ විශේෂවල ජීවන ඉතිහාසය, ගහන ප්‍රවණතා සහ ධීවර කර්මාන්තය පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙන අතර, ගහනය කඩාවැටීම වැළැක්වීම සඳහා ඔවුන් ආරක්ෂා කිරීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරන බව ප්‍රනාන්දු, මොන්ගාබේ වෙත පැවසීය.

මෙම අධ්‍යයනය 2011 සිට 2020 දක්වා ශ්‍රී ලංකාව වටා මත්ස්‍ය ගොඩබෑමේ ස්ථාන 38 ක් හරහා සිදු කරන ලදී. ක්ෂේත්‍ර මිනින්දෝරු කණ්ඩායම මුලින්ම මඩු විශේෂ පහ සඳහා අල්ලා ගත් අංක, ශරීර ප්‍රමාණය, ලිංගිකත්වය සහ පරිණත තත්ත්වය පිළිබඳ දත්ත රැස් කළේය. ඔවුන් ගොඩබෑමේ ස්ථාන 38 න් 21 ක මඩුවන් වාර්තා කර ඇති අතර, මුළු සංඛ්‍යාව 6,516 කි.

අල්ලා ගත් සතුන්ගෙන් 75% ක ප්‍රමාණයකට හිමිකම් කියන්නේ කටු වලිග අඟ මඩුවන් වේ. එය සංඛ්‍යාවෙන් 4,898 දෙනෙකු වේ. මීට අමතරව කුඹුක් මඩුවන් (17.1%/ 1,114ක්), සාගර අලි මඩුවන් (4.6%/ 299ක්), නැමි වරල් අඟ මඩුවන් (1.4%/ 93ක්) සහ කෙටි වරල් වාමන අඟ මඩුවන් (0.9%/ 59ක්) වේ.

අල්ලා ගැනීමේ ඉහළ අනුපාත

“වඩාත් වැදගත් දෙය නම්, අපගේ ආකෘති ඇස්තමේන්තු කර ඇත්තේ සාගර මැන්ටා මඩුවන් 1,000 කට අධික ප්‍රමාණයක්, කටු වලිග අඟ මඩුවන් 11,000ක්, කුඹුක් මඩුවන් 5,000ක් සහ කෙටි වරල් වාමන අඟ මඩුවන් 500ක් වාර්ෂිකව, මෙම නිරීක්ෂණ ස්ථාන 38 වෙත එන බවයි,” ප්‍රනාන්දු පැවසීය. “ශ්‍රී ලංකාවේ අතිරේක ධීවර ගොඩබෑමේ ස්ථාන 883 ක් ඇති බව අපි සලකන අතර, එබැවින් අලි සහ අඟ මඩුවන් සඳහා වන සමස්ත වාර්ෂික ඇස්තමේන්තු අතිශයින් ඉහළ ය.”

පර්යේෂණයෙන් සිදු වූ තවත් කනස්සල්ලට කරුණක් නම්, අල්ලා ගන්නා සතුන් ඉතා කුඩා වීමයි. එබැවින් “සෑම වසරකම අල්ලන සතුන්ගේ ශරීර ප්‍රමාණයන් 1-2% පමණ කුඩා වන අතර, එයින් පෙන්නුම් කරන්නේ ඔවුන් තිරසාර නොවන මට්ටමේ අල්ලා ගැනීම් අත්විඳින බවයි.”

පර්යේෂකයන් විසින් වාර්තා කරන ලද සතුන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් (පැටවුන් ද ඇතුළුව) දිගු අං වාමන අඟ මඩුවන් පිළිබඳ වාර්තා ලේඛනගත කර ඇත.

මොබ්යුලා මඩුවන් යනු ප්ලවාංග අල්ලා ගැනීම සඳහා විශාල ජල පරිමාවක් උන්ගේ කරමල් හරහා යවනා පෙරහන් පෝෂකයන් වේ. වියලන ලද කරමල් සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවේ ජනප්‍රිය වන අතර, ඒවා සඳහා ඇති ඉල්ලුම මසුන් ඇල්ලීමේ ප්‍රයත්නය වැඩිවීමට සහ මෙම විශේෂයන් මත්ස්‍ය කර්මාන්තයේ රඳවා තබා ගැනීමට හේතු වී තිබේ.

“2000 සිට 2010 දක්වා කාලය තුළ කරමල් සඳහා ඉල්ලුමක් ඇති වීමට පෙර, ධීවරයින් බොහෝ විට තම දැල්වල පැටලී සිටි විශාල මඩුවන් මුදා හරින අතර, මොබ්යුලා මඩුවකු දුටුවහොත් තම කරමල් දැල් සාගරයට දැමීමෙන් වැළකී සිටි බව ධීවරයින් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවලින් අපට පෙනී ගියේය.” ප්‍රනාන්දු පැවසීය. “නමුත් දැන් ඒ දේවල් වෙනස් වී ඇති අතර ඔවුන් නැවත වෙරළට ගෙන එයි. අනෙකුත් මාළු හා සසඳන විට නැවුම් මස් හෝ වියලන ලද මස් වල වටිනාකම අතිශයින් අඩු ය. මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රධාන අංගය වන්නේ කරමල් ය.

මසුන් ඇල්ලීම නතර කිරීමට පෙළඹවීමක් නැත

අධ්‍යයනයට අනුව ප්‍රධාන වශයෙන් බලයා (Katsuwonus pelamis) සහ කෙලවල්ලා (Thunnus albacares) ඉලක්ක කරන කරමල් දැල් භාවිතයෙන් මසුන් ඇල්ලීමේදී මඩුවන් බොහෝ විට අල්ලාගනු ලැබේ. ශ්‍රී ලංකාවේ, කුඩා පරිමාණ ධීවර කර්මාන්තයේ වැඩිපුරම භාවිතා වන ආම්පන්න වර්ගය වන්නේ (56%) කරමල් දැල වන අතර, අහඹු ලෙස අල්ලා ගැනීම ඊටත් වඩා වැඩි ප්‍රමාණයකට වගකිව යුතුය.

බොහෝ ධීවරයින් බලයා සහ කෙලවල්ලා ඉලක්ක කර ගැනීම සඳහා දිගු රේඛා හෝ වළලු දැල් සමඟ ඒකාබද්ධව කරමල් දැල් භාවිතා කරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින බැවින් ධීවරයින් මෙම ඉතා ඵලදායී ක්‍රම අත්හැර දැමීම අතිශය දුෂ්කර වනු ඇතැයි ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ හිටපු පර්යේෂණ නිලධාරියකු වන සමුද්‍ර පරිසර විද්‍යාඥ අර්ජන් රාජසූරිය මහතා පැවසීය.

ධීවර බෝට්ටුවක් ක්‍රියාත්මක කිරීම මිල අධික වන අතර, උපකරණ පිරිවැය, සේවක වැටුප් සහ අනෙකුත් මෙහෙයුම් වියදම් කෙරෙහි බලපාන ඉන්ධන පිරිවැය සහ ඉහළ යන උද්ධමනය හේතුවෙන් ධීවරයින් පීඩාවට පත්ව සිටිති. ඒ අතරම, මත්ස්‍ය සම්පත පිරිහෙමින් පවතින අතර, එයින් අදහස් වන්නේ පෙර මෙන් නොව මසුන් ඇල්ලීමට ධීවරයන්ට වැඩි උත්සාහයක් අවශ්‍ය බවයි. එබැවින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මොබ්යුලා මඩුවන් ආරක්ෂා කළත්, ධීවරයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම උඩු යටිකුරු කාර්යයක් බව රාජසූරිය මොංගාබේ වෙත පැවසීය.

සංරක්ෂණ ප්‍රමුඛතාවයක් නැත

ඓතිහාසික වශයෙන්, සාගර විශේෂ බොහෝ විට සංරක්ෂණය සඳහා නොසලකා හැර ඇති අතර, ඒ වෙනුවට වඩාත් දෘශ්‍යමාන, භෞමික ජීවීන් වෙත අවධානය යොමු කිරීමට නැඹුරු වී ඇති බව ප්‍රනාන්දු පැවසීය.

“ශ්‍රී ලංකාවේ වනගත ප්‍රදේශවල වෙසෙන ආසියාතික අලියා ද වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් ලෙස වර්ගීකරණය කර ඇති අතර ඔවුන් මරා දමන විට සාමාන්‍යයෙන් විශාල අවධානයක් ඇති වේ. නමුත් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අලි සහ අඟ මඩුවන් හෝ වෙනත් සාගර සතුන් කෙරෙහි එම අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණකි. ඒ හා සමානව තර්ජනයට ලක් වූ මෝරුන්, දැති මෝරුන් සහ රයිනෝ මඩුවන් ඇතුළු සතුන්, විශේෂයෙන් ඔවුන්ගෙන් සමහරක් ඊටත් වඩා වැඩි තර්ජන මට්ටම් ඇති බව සැලකේ ” ඔහු මොන්ගාබේ වෙත පැවසීය.

“අපි ආහාර සහ ආදායම යන දෙකටම සාගර සම්පත් මත විශාල වශයෙන් විශ්වාසය තබන ශ්‍රී ලංකාවේ එය පහසු තත්ත්වයක් නොවේ. අපි අධික ලෙස මසුන් ඇල්ලීමට ඉඩ දීම මත්ස්‍ය ජනගහනය කඩාවැටීමට සෘජුවම හේතු වුවහොත් ධීවර ප්‍රජාවන්ගේ අනාගතය කුමක් වේවිද? එමනිසා අඩුවෙන් මසුන් අල්ලා , අපගේ නිෂ්පාදන වටිනාකම වැඩි කර ගැනීමට හැකි වන පරිදි තිරසාර ධීවර කළමනාකරණයක් කරා අප සංක්‍රමණය විය යුතුයි, ”ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.

මෝරුන් සහ මඩුවන් සංරක්ෂණය පිළිබඳ කටයුතු කරන ඉලාස්මෝ ව්‍යාපෘතියේ නිර්මාතෘ සහ IUCN මෝර විශේෂඥ කණ්ඩායමේ සභාපති රීමා ජබඩෝ, ශ්‍රී ලංකාවේ මොබිලිඩ් සංරක්ෂණ ක්‍රියාමාර්ග, මඟ පෙන්වීම සඳහා නව සොයා ගැනීම් පිළිගත්තේය.

“මෑතකදී යාවත්කාලීන කරන ලද IUCN රතු ලැයිස්තුවෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන මොබ්යුලා මඩුවන් විශේෂ තර්ජනයට ලක්ව ඇති බවයි. එබැවින් කළමනාකාරිත්වයට දැනුම් දිය හැකි දත්ත රැස් කිරීම සඳහා මෙවැනි මෝරුන් සහ මඩුවන් ඇල්ලීම, පර්යේෂණ සහ අධීක්ෂණය කිරීම සඳහා සිදු කරන කාර්යය ඉතා වැදගත් වේ,” ඇය පැවසුවාය. මෙම විශේෂයන් ඵලදායී ලෙස ආරක්ෂා කිරීම සඳහා ජාතික රෙගුලාසි හඳුන්වා දෙන ලෙස ඇය ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවලින් ඉල්ලා සිටියාය.

ශ්‍රී ලංකාව එය අත්සන් කර ඇති කලාපීය සහ ජාත්‍යන්තර කැපවීම් යටතේ එසේ කිරීමට බැඳී සිටී. මොබ්යුලා මඩුවන් සඳහා සංරක්ෂණ සහ කළමනාකරණ ක්‍රියාමාර්ග ඉල්ලා සිටින ඉන්දියානු සාගර ටූනා කොමිසම මෙයට ඇතුළත් වේ (විභේදන 19/03). සංක්‍රමණික විශේෂ පිළිබඳ සම්මුතිය (CMS) උපග්‍රන්ථය I යටතේ මොබිලිඩ් මඩුවන් ග්‍රහණය කර ගැනීමෙන් ආරක්ෂා කරයි. සත්ත්ව විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ උපග්‍රන්ථය II හි ලැයිස්තුගත කර ඇති නිසා ඔවුන්ගේ වරල්, ජාත්‍යන්තර වෙළඳාමක් සඳහා අපනයන බලපත්‍ර අවශ්‍ය වේ (CITES). කෙසේ වෙතත්, CMS සහ IOTC වැනි වෙනත් ජාතික බැඳීම් උල්ලංඝනය කරමින් නිදර්ශක ලබා ගන්නේ නම් CITES බලපත්‍ර නිකුත් කිරීම පැහැදිලිවම තහනම් කරයි

 

අංක එකේ මඩු ඝාතකයා

ශ්‍රී ලංකාවේ ප්‍රවීන පරිසර නීති විශේෂඥයෙකු වන ජගත් ගුණවර්ධන පැවසුවේ, මෙම රට ලෝකයේ අංක එකේ මොබිලිඩ් දඩයක්කරුවන් බවට පත්වීම කණගාටුවට කරුණක් බවයි.

“අපි ආදර්ශයට ගත යුත්තේ මාලදිවයිනයි, මන්ද ඔවුන් 1995 තරම් ඈත අතීතයේ දී මෙම විශ්මය ජනක ජීවීන් ආරක්ෂා කිරීමට කාලෝචිත ක්‍රියාමාර්ග ගත් අතර මෙම විශ්මය ජනක විශේෂ ආරක්ෂා කිරීමේ අරමුණින් සමුද්‍ර ආරක්ෂණ කලාප පවා ප්‍රකාශයට පත් කරන ලදී,” ගුණවර්ධන මොංගාබේ වෙත පැවසීය.

සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත (FFPO) හෝ ධීවර හා ජලජ සම්පත් පනත හරහා ශ්‍රී ලංකාවෙහි මොබිලිඩ් මඩුවන් නීත්‍යානුකූලව ආරක්ෂා කිරීමට, අදාළ ආරක්ෂිත විශේෂවල ඇමුණුම් වලට ඇතුළත් කිරීමෙන් කළ හැකි බව ඔහු පැවසීය. අදාළ අමාත්‍යවරුන්ට ගැසට් නිවේදනයක් මගින් මෙම නියෝගය ලබාදිය හැකි බවද ගුණවර්ධන මහතා පැවසීය.

 

මුලාශ්‍ර :

Fernando, D., & Stewart, J. D. (2021). High bycatch rates of manta and devil rays in the “small-scale” artisanal fisheries of Sri Lanka. PeerJ, 9. doi:10.7717/peerj.11994

Malaka Rodrigo විසින් Mongabay වෙත ලියන ලද In Sri Lankan waters, endangered but unprotected rays encounter a killing field නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.
උපුටාගැනීම : the buffer zone

Social Sharing

Related posts