පෝලිමේ ඉඳල ගහගන්න ඩීසල්වලින් අපි කරන සමහර දේ

– අජිත් පැරකුම් ජයසිංහ –

මහින්ද රාජපක්ෂ දෙවියකු මෙන් වන්දනා කරන මං දන්නා දකුණේ එක් පුද්ගලයෙකු දවස් ගානක් තෙල් පෝලිමේ ඉඳලා තමන්ගෙ ලොරියට තෙල් ගසාගෙන, තමන්ගේ වත්තේ සරුසාර පොල් ගහක් කපලා අතුටික පටවගෙන කිලෝමීටර් 50ක් ඈත දේවාලෙක අලියට ගිහින් දීලා. අලියා වෙන කොහේද ගෙනිහින්. කපුවා පිං දීලා. රුපියල් 7,000ක තෙල් ලොරියට පුච්චපු අපේ මෑන් දැන් බිස්නස් එකට කොටන් ලෝඩ් එකක් පටවන්න නැවතත් තෙල් පෝලිමේ. හැබැයි සතුටෙන් ඉන්නෙ. දෙවි පිහිටයි!

පහුගිය දවස්වල කුරගල ගිය අය කිව්වා එහෙ ලේලන්ඩ් බස් පෝලිමේ තිබුණාය කියලා, අනෙක් වාහනවලට අමතරව.

කට්ටිය ෆේස්බුක් එකේ ෆොටෝස් දානවා ට්‍රිප් ගිහින්. රජයේ සේවකයන්ට පඩිත් එක්ක වැකේෂන්, ලෝං වීක්එන්ඩ් එහෙම දීලා තියෙන නිසා ලොකු ෆන් එකක් ගතැහැකි.

මේවා ඉතින් අපේ ජීවිතේ සාමාන්‍ය දේවල්. අපට තෙල් අවශ්‍ය මේ සාමාන්‍ය ජන ජීවිතේ පවත්වාගෙන යන්න.

තෙල් ගන්න ඩොලර් නැති නිසා දැන් අපට පිටරටින් සල්ලි, තෙල් දෙන්න ඕනැ. අපේ පාලකයන්ට ඒවා ගන්න පුළුවන් වෙන්න ඕනැ. බැරිනම් එවුන්ව පන්නන්න ඕනැ.

පන්නමු. අනිවාර්යයෙන්. වෙන කට්ටියක් ගෙනෙමු. හැබැයි ඉතින් තෙල් ප්‍රශ්නෙට විසඳුමක් ක්ෂණිකව ලැබෙයි කියල හිතන්න එපා. කවුරුවත් අපට මේ වගේ වැඩ කරන්න පිනට තෙල් දෙන්නෙ නැහැ. දෙන්න ඕනැත් නැහැ කියලායි මං නම් හිතන්නෙ. අපි අපේ අපනයන ආදායම වැඩි කරගත්තොත් තෙල් ආනයනය කරන්නට පුළුවන් වෙයි. නැතිනම්, විදේශ ශ්‍රමිකයන් සල්ලි එවන්න ඕනැ. සංචාරකයන් එන්න ඕනැ. එහෙම තමයි අපට ආදායම වැඩිකරගන්න වෙන්නෙ. පිනට ලැබෙන්නෙ නැහැ. ගත්ත ණය ගෙවන්නත් තියෙනවා.

කොහොම වුණත්, අපට ඉන්ධන පරිභෝජනය සීමාකරන්න වෙනවා. ඒක අපි අපිමයි කරන්න ඕනැ. එහෙම නැතුව නීති මගින් පරිභෝජනය සීමා කරන්න අමාරුයි. මොන නීති දැම්මත් ඒවයෙ සිදුරු තියෙනවා. හැමෝටම තමන් කරන්නෙ අත්‍යවශ්‍ය සේවාවක්ය කියලා තර්ක කරන්නට පුළුවන්. සලාක කළාම ඒ හරහා ද්විතීයක වෙළඳපොළකුත් හැදෙනවා. ඒ කියන්නෙ පෝලිමේ ඉඳලා ගන්න තෙල් විකුණගෙන ආයෙ පෝලිමට යන්නටත් පුළුවන්.

සමහර ප්‍රශ්නවලට ක්ෂණික විසඳුම් නැහැ. හැඩගැහෙන්න. කලින් පාරිභෝජනවාදී නාස්තිකාර ජීවිතය අපට දැන් ගෙවන්නට බැහැ. ඒක තේරුම් ගන්න.

Social Sharing
නවතම විශේෂාංග