සහල් පාලන මිලට දෙන්න පෙරමුණ ගන්නවා

වර්තමානයේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන තත්ත්වය තුළ ජනතාව ගැන සිතා තමන් රජයේ පාලන මිලට සහල් ලබාදීම සඳහා සහල් නිශ්පාදකයෙක් ලෙස පෙරමුණ ගන්නා බව ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කරයි.

ඒ අනුව හෙට සිට රජයේ පාලන මිල අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 220ක මිලකටත්, සම්බා කිලෝවක් රුපියල් 230 ටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 260 ක මුදලටත් අලෙවි කිරීමට තීන්දු කළ බව ඔහු අද (18) මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු ජනතාවගෙන් ඉල්ලාසිටියේ පාලන මිලට නැතිව වැඩි මිලක් ගෙවා සහල් වෙළඳපොළෙන් නොගන්නා ලෙසයි. සහල් වැඩි මිලට අලවි කරන වෙළෙන්දන් පිළිබඳව අදාළ ආයතන වෙත පැමිණිලි කරන්න යැයිද ඔහු මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහුගේ ප්‍රකාශයේ ඉතිරි කොටස :

” මේක අපි හැමෝටම අමාරු කාලයක් බව මම පිළිගන්නවා. විශේෂයෙන්ම රජයේ අමනෝඥ නිළධාරීන්ගේ හා පාලකයන්ගේ මරි මෝඩ තීන්දු නිසා රටේ වී ගොවිතැන ඇතුලු කෘෂිකර්මාන්තය වළපල්ලටම වැටිලා. ඒ වුණත් මේ වෙලාවෙ අසරණ වෙච්ච මිනිස්සු වෙනුවෙන් හඬක් නඟලා, සහල් මිල ස්ථාවර අගයක තියන්න මම මූලිකත්වය ගන්නවා. මොකද මම පාලන මිලට සහල් දෙනව නම්, අනිත් අයට නොදී ඉන්න බැරි හේතුවක් නැහැනෙ.

විශේෂයෙන්ම රට තුළ වී සංචිත තවත් තුන් මසකට සීමා වී ඇති කාලවකවානුවක රජයේ වගකිවයුතු බළධාරීන් විසින් කැසට් පට වෙළඳපොළට නිකුත් කරනව වගේ ගැසට් ගැසීම නිසා රටේ මහජනතාවත්, ව්‍යාපාරිකයනුත් අනාථ වී ඇති බව අමුතුවෙන් කිවයුතු නැහැ.

විශේෂයෙන්ම මීට මාස තුනකට සාපේක්ෂව ඩීසල් මිල රුපියල් 250/- කින් ඉහල ගොස් ඇති කාලවකවානුවක, අමුද්‍රව්‍ය හිඟකමින් ඇසුරුම් මිල 300% කින් ඉහළ ගොස් ඇති වටපිටාවක මේ මිල ගණන් යටතේ සහල් වෙළඳපොළට නිකුත් කිරීම අතිශයින්ම දුෂ්කර බව ඔබ දන්නවා.

එහෙත් දේශීය ව්‍යවසායකයෙකු ලෙසින් ඒ කිසිවක් ගණන් නොගෙන, ලාභ පසුපස නොයමින් මේ දුෂ්කර කාළය තුළ රජයේ පාලන මිලට යටත්ව සහල් අලෙවි කිරීමට මා තීරණය කළා.

එම නිසා මා මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මේ කාලය කැප කර, ඉවසීමෙන් සිටිනා ලෙසයි”

Social Sharing
නවතම පුවත්