බඩේ රුජාවට හිස මසාජ් කිරීම

-කේ. සංජීව-

මේ වෙනකොට 21 වෙනි සංශෝධනය ගැන පුලුල් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවෙන් පිටත පවතිනවා. හැබැයි ඒක තවමත් කැබිනට් මණ්ඩලය අස්සේ හෝ පාර්ලිමේන්තුව ඇතුලේ පේන්න නෑ.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට්ටුවට දානවා කියන 21 නිකන් අයිසින් ගුලියක් විතරයි. රැවුලත් ඕනී කැඳත් ඕනී පන්නයේ වැඩ කරලා විජේදාසට හොඳට හුරුයි. ඒ නිසා මිනිහා මොකක් හරි ලියවිල්ලක් දායි. හැබැයි ඒක 19 ප්ලස් වෙන එකක් නෑ කියලනම් අපිට සුවර්.

මේ අහු අස්සේ ජනතාව පන්නලා දාපු අගමැති මහින්ද රාජපක්ෂ කියලා තියෙනවා පොහොට්ටුව මේකට සහාය දෙන්නේ, ජනාධිපති ක්‍රමය අවසන් කරනවා නම් විතරයි කියලා. අන්න වැඩේ..!

ජනමත විචාරණය

විධායකය ආරක්ෂා කරගන්න ඕනී පිරිස් හැමදාම එල්ලුනේ ජනමත විචාරණයේ. ඒක හරි අමාරු වැඩක් විදිහට තමයි මේ ජනාධිපති සිහින දකින්නෝ දැක්කේ. රටට පෙන්නුවේ. යහපාලනය ආපු වෙලාවෙ විතරක් නෙවෙයි දින 100 වැඩපිළිවෙල හදනකොටත් මේ ජනමත විචාරණය කියන එකේ ගොඩක් අය එල්ලුනා. අවසානයේ එහෙටත් නැති මෙහෙටත් නැති විලම්භීතයක් තමයි එළියට ආවේ.

ආචාර්‍ය ජයම්පතී වගේ අයට උනත් 19 විකාරයක් වීම වළක්වා ගන්න පෞරෂයක් තිබුණේ නෑ. අවසානයේ විධායක බලතල තියෙන දෙන්නෙක් බිහිවුණා. එකක් කඩතොළු මකාගන්න ගියාම කඩතොලු සීයක් හදලා දුන්නයි ජයම්පතී ආචාරියා කියලා තමයි කියන්න වෙන්නේ.

කොහොමවුණත් මම නම් දැන් කියන්නේ අපි තවත් මේ ජනමත විචාරණය කියන බිල්ලට බයවෙලා තේරුමක් නෑ. මුලින්ම විධායකය අහෝසි කිරීම සඳහා සංශෝධනයක් ගේමු. ඒක 2/3ක බලයකින් සම්මත කරගෙන ඉමු. ඊළඟට තමයි අපිට ජනතාව ඉස්සරහට ගිහිං මේක ගැන කියලා ජනමත විචාරණයකට යන්න වෙන්නේ. අපි දැන්වත් වැල්ලේ පීනන එක නතර කරලා මූදට පනිමු. මේ ඒකට හොඳම අවස්ථාව. තැටිය රත්වෙලා තියෙන වෙලාවෙ රොටිය පුච්චගමු කියලා තමයි මම නම් කියන්නේ.

පූර්ණ පාර්ලිමේන්තු ක්‍රමයක්

ව්‍යවස්ථා පැළැස්තර නූල් සූත්‍ර වලින් කාරියක් වෙන්නේ නෑ. මේ ජනාධිපති ක්‍රමය ජනාධිපතිට මොන බලයක් දීලා තියාගෙන හිටියත් අපිට රටක් විදිහට ගොඩ යා ගන්න බෑ. ඒකට හොඳම නීදර්ශනය තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. මිනිහා ජයවර්ධන ප්ලස් පන්නයේ ව්‍යවස්ථාවක් හදාගත්තා කියලා අපි කවුරුත් දන්නවා. එහෙම ව්‍යවස්ථාවක් හදාගත්ත මේ මනුස්සයා ලී ක්වාන් යූ වගේ වැඩ කරයි කියලා තමයි අපි හිතුවේ, ඒත් අන්තිමට මොකද වුණේ? අද රටට කන්නත් නෑ.

ජනාධිපති ක්‍රමයකට පවතින්න දියුණු දේශපාලන සංස්කෘතියක් තියෙන්න අවශ්‍යයි. ඒ සංස්කෘතිය නැති රටකට එහෙම එකක් ඔරොත්තු දෙන්නේ නෑ. ඒ හින්දා මට දැන්නම් හොඳටම ෂුවර් මේ රටට ගැළපෙන්නේ පූර්ණ පාර්ලිමේන්තු ක්‍රමයක්. ඒකට හොඳම වෙලාව තමයි මේක. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂත් එකඟනම් විධායකය අහෝසි කරන්න අපි ඇයි මේ 21 ගැන වධ වෙන්නේ.

ජාතික ප්‍රශ්නයට විසඳුම

ඊයේ (14) අලුත් දේශපාලන සන්ධානයක් කරළියට ඇවිත් වගේ පෙනුනා. මේක අලුත් කිව්වට හද්ද පරණයි. හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න තමයි මූලාසනය අරගෙන කතා කළේ. 21 සංශෝධනය කොහොම වෙන්න ඕනීද කියන එක තමයි මේ උදවිය කීවේ. හැබැයි ඒ යෝජනා ගැඹුරෙන් විමසලා බැලුවාම පේන්නේ මේ ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන්න තමයි මේ අයත් උත්සාහ කරන්නේ කියන දේ.

අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීම ඒ අමාත්‍යාංශවල විෂය පථයන් පනතකින් නිස්චිත කිරීම වගේ හොඳ යෝජනා මේ කස්ටිය ළඟ තිබුණත් මේ යෝජනාවල අවසන් හරය උනේ විධායකය ආරක්ෂා කරගැනීම. මටනම් හිතෙන්නේ සෘජු ජනතා ඡන්දයකින් පත්වෙන ජනාධිපතිවරයෙක් ඉන්න රටක පාර්ලිමේන්තුවට බලය දුන්නා කියලා ලොකු වැඩක් වෙන්නේ නෑ. ජනාධිපති කෙනෙක් අවශ්‍යම නම් අපිට පුලුවන් ඔහු පාර්ලිමේන්තුව අස්සේ පවත්වන ඡන්දයකින් තෝරාගන්න.

ජනාධිපති සේනාධි නායකයා විතරයි නම්, ඔහුට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න, අමාත්‍යාවරුන් පත් කරන්න බලයක් නැත්තං අපි ඇයි විශාල මුදලක් වැයකරලා ඡන්දයක් තියන්නේ? තියලා ජනාධිපතිවරයෙක් තෝරන්නේ. ජනාධිපති පත් කිරීමේ මූලික පරමාර්ථය රටේ ඒකීයභාවය ආරක්ෂා කරගැනීම නම්, පාර්ලිමේන්තුවෙන් ජනාධිපති කෙනෙක් පත් කරගත්තත් ඔහුටත් ඒ රාජකාරිය කරන්න පුලුවන්.

අද මේ හැවෝම 21 වෙනි සංශෝධනයක් ගැන කතාකරනවා. ඒත් ජාතික ප්‍රශ්නයට විසඳුමක් මේ කවුරුවත් යෝජනා කරන්නේ නෑ. මට හිතෙන්නේ ද්වි මණ්ඩල පාර්ලිමේන්තු ක්‍රමයකට ගියානම් අපිට ජාතික ප්‍රශ්නයටත් ඒ හරහා විසඳුමක් ගේන්න පුලුවන්. අනෙක් පැත්තෙන් පළාත් සභා තවත් ශක්තිමත් කරලා කේන්ද්‍රයේ තිබෙන බලය තව තවත් බෙදලා දෙන්න පුලුවන්. පළාත් සභා සුදු අලියා කොටන් අඳින කළු අලියෙක් කරන්න පුලුවන්.

ඊයේ කරළියට ආපු මේ අලුත් දේශපාලන සන්ධානය ඔවුන්ගේ යෝජනා ගැන කියනකොට ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය ගැනත් කතා කළා. දැනට තියෙන 7:3 අනුපාතය (මන්ත්‍රී : සිවිල් ) 6:4 වෙන්න ඕනී කියලා තමයි මේ අය කියන්නේ. මේකෙනුත් පේනවා මේ යෝජනාවල තියෙන අවංකභාවය. මේ 6:4 පුලුවන් නම් අනික් පැත්ත හරවලා පෙන්වන්න. සිවිල් 6යි මන්ත්‍රී 4යි විදිහට. මේකේ සිවිල් නියෝජනය වැඩිකරන්නේ නැතිව අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්න විදිහක් නෑ. දැන් තියෙන්නේ අලුත් තත්ත්වයක්. ඒ තත්ත්වයට මේ උන්නැහේලා හරියට ප්‍රතිචාර දක්වනවා නම් මේක අනිවාර්‍යෙන් 4:6 වෙන්න අවශ්‍යයි.

ඒ නිසා පැරණි යල් පැන ගිය දේශපාලකයන්ට අපිට කියන්න තියෙන්නේ තොපේ කාලේ අවසන් කියන එක. ඒ නිසා කරණ සාකච්ඡාවක් අවංකව කරහල්ලා. ගේන යෝජනාවක් රට මේ උගුලෙන් මුදන යෝජනා වෙන්න අවශ්‍යයි. විධායකයක් නඩත්තු කරගෙන කොරන්න දෙයක් මේ රටේ නෑ. මේක දැන් නැට්ටටම කෙළවුණ රටක්. ඒනිසා මේක අහෝසිකරලා දාලා ජාතික ප්‍රශ්නයත් විසඳන අවංක දේශපාලන උත්සාහයක් ගනිල්ලා. එහෙම නැතුව අපි කාටවත් අනාගතයක් නෑ.

Social Sharing
නවතම විශේෂාංග