මහළු රජුන් හා තරුණ නායක නායිකාවන්.

” නේටෝ සංවිධානය හා එකතු වීමට හිතේ කොනක හෝ අදහසක් තිබේනම් එය ඔබේ රට විසින් මේ සියවසේ ගන්නා මෝඩම තීරණය එය වනු ඇත. එහි ප්‍රථිවිපාක අත්විඳීමට ඔබත් ඔබේ වැසියනුත් සූදානම් විය යුතුය.”

මෙහෙම කීවෙ බල ලෝභයෙන් පෙලෙන වයෝවෘද්ධ නායකයෙක්.. ප්ලාස්ටික් සැත්කම් වලින් මුහුණ පාට කරගෙන හිටියට එයාට වයස අවුරුදු හැත්තෑව ලබනව තව මාස කීපයකින්.

“මහත්තයා ඔබගේ කතාව මට හොඳින් ඇහුනා ස්තුතියි.. මෙවැනි කතා පහුගිය දශක කීපය තිස්සේම අහල මට හොඳින්ම පුරුදුයි. මා ඉපදුනේ නිදහස් රටක. මගේ ජනතාව මා හට බලය ලබා දුන්නේ අසල්වැසියන්ට අවශ්‍ය ආකාරයට තීරණ ගැනීමට නොව මගේ ජනතාවට අවශ්‍ය ලෙස රට පාලනය කිරීමටයි. “
“මගේ රටවැසියාට අවශ්‍ය තීරණයක් ගැනීමට මාද මගේ රජයද පසුබට නොවන බව ඔබට දැන්වීමට කැමැත්තෙමු.”

මෙහෙම කීවෙ තරුණියක්. ඇයට යන්තම් අවුරුදු 36 ලැබුව විතරයි.

මහලු නායකයාගේ නම ව්ලැඩිමීර් පුටින් ..තරුනියගේ නම සානා මරීන්.

ව්ලැඩිමීර් පුටින් ( vladimir putin – 1952) බලයට එන්නෙ රුසියානු කොමියුනුස්ට් සමාජවාදී පක්ශය බිමට පාගා දමමින්.. ඒ 1999 වර්ශයේදි.

2019 දී පින්ලන්ත අගමැති බවට සානා තේරීපත්වෙන්නෙ සමාජවාදී/ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සංගමය නියෝජනය කරමින්.
( Saanaa Marin – 1985.11.16)
සමාජ විද්‍යා හා දේශපාලන විද්‍යා උපාධි ධාරිනියක්.. නීති වේදිනියක් වූ සානා හෝටලයක වේටර්වරියක් .. කැශියර් වරියක් ලෙස වැඩ කරේ ඉගෙනීමට අවශ්‍ය මුදල් ලබා ගන්න.
“ලොව ප්‍රීතිමත්ම මිනිසුන් ඉන්න… වඩාත්ම නිදහස් මානසිකත්වයක් ඇති රට වඩාත්ම සිනාසෙන මිනිසුන් ඉන්න රට බවට පත්කරන්නයි මට ඕනෙ“ ..සානා මෙහෙම කීවෙ පින්ලන්ත අගමැතිනිය ලෙස දිව් රුම් දුන්නු දවසෙ.
එයා බොහෝ වෙලාවට වැඩට යන්නෙ එන්නෙ තමන්ගෙ කුඩා මෝටර් රථයෙන් සමහර දවස් වල බයිසිකලයෙන්.

අනිත් අතින් විධිමත් ආධ්‍යාපනයක් නොලැබූ කේජීබී රහස් ඔත්තු කරුවෙක් වූ ව්ලැඩිමීර් පුටින් බලයට එන්නෙ ඇමරිකානු තේරීමක් වූ බොරිස් යෙල්ට්සින්ගෙ පෞද්ගලික සහකාර විදිහට රැකියාව කරන අතරෙයි.
එයා කීවෙ ” රුසියාවේ බලය ලෝකය නැවතත් වටහා ගනීවි.. රුසියාව ලෝක බලවතා වීමේ දවස වැඩි ඈතක නෙවේ ” මිස මගේ මිනිසුන් ප්‍රීතිමත් ජනතාවක් කරනව කියල නෙවේ.

කොහොම වුනත් ස්වීඩනය හා පින්ලන්තය සම්භන්ධයෙන් ව්ලැඩිමීර් පුටින්ගෙ අණතුරු ඇඟවීම නිසා ලෝක බලවතුන් මදක් සසල වුනු බව පෙනුනත් සානා බොහොම කල්පනාවෙන් තමන්ගෙ රාජකාරිය කරනව. එයා අලුත් පරපුරේ කෙනෙක් . විදද්‍යුත් මාධ්‍ය උපයෝගී කරගෙන එයා ජනතාවගෙන් විමසුවා එයාලගෙ අදහස.

ජනතාවගෙ සම්පූර්ණ කැමැත්ත හා සහයෝගය මත සානා මරීන් නෝනා තීරණය කරනව නිල වශයෙන් නේටෝ සංවිධානය හා සම්භන්ධ වෙන්න.

පහුගිය සඳුදා ස්වීඩන් අග්‍රාමාත්‍ය ( නෑ අතිගරු .. ගරු.. වගේ විකාර ආමන්ත්‍රණ මේ රටවල නෑ. ඒ අය ජනතා සේවකයන් විතරයි) මග්දලේනා ඇන්ඩර්සන් ( Magdalena Anderson ) එක්ක එකතු වෙලා ස්වීඩනය හා පින්ලන්තය මේ තීරණය ලෝකයට දැනුම දුන්න.

මග්දලේනා ඇන්ඩර්සන් නෝනටත් වයස අවුරුදු පනස් පහයි.
ඒ නෝනාත් වයෝවෘද්ධ මිනිසුන්ගේ තර්ජන ඒ තරමට මායිම් කරන්නෙ නෑ. නමුත් තර්ජන වලට තර්ජන වලින් පිලිතුරු දෙනව වෙනුවට ඒ අය බොහොම පාඩුවේ කල යුතු දේ කරනව.

අපි මුල ඉඳලම යුක්‍රේන රුසියානු ඉතිහාසයත් .. රුසියානු ආක්‍රමනයත් ඊට හේතුත් විස්තර සහිතව කතා කරා.
දවස් දහයකින් යුක්‍රේනය සම්පූර්නයෙන්ම යටත් කර ගන්නව කියපු පුටින් මහත්තයාගෙ හමුදාව යුක්‍රේනය ආක්‍රමණය පටන් ගත්තෙ පෙබරවාරි විසි වෙනිදා.

මාස තුනකට පස්සෙත් …ලොව තෙවැනි විශාලතම හමුදාවට යටත් කරගන්න පුළුවන් වුනේ මරියපොල් කියන යුක්‍රේණයේ ඊසාන දිග නගරය විතරයි.
කා‍ර්කිව් නගරය අවටදී රුසියානු හමුදාව ලබපු දරුණු පරාජය ගැන රුසියානු නායකයාට කරන්න පුලුවන් දෙයක් තිබුනෙ නෑ.
( යුද්ධයකදී කිසිවෙකු ජයග්‍රහණය නොකරන නිසා මිය ගිය හෝ තුවාල ලැබූවන් සඳහන් කිරීම වැදගත් කියල මම හිතන්නෙ නෑ)
යුරෝපානු රටවල් හා ඇමරිකානු රජය අධික යුධාදාර යුකේනයට ලබා දුන්නත්.. වඩා වැදගත් සාධකය වෙන්නෙ යුක්‍රේන් ජාතිකයන්ගේ ධර්‍ය බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
අනිත් අතින් නාසින්ට විරුද්ධව සටන් කරපු රතු හමුදාවේ වැඩි බරක් දැරුවෙ යුක්‍රේන් කසක් වරු බව හැමෝම දන්න කාරණයක්.
යුද්ධයකදී අපි පැත්තක් ගත යුතු නැහැ. රුසියානු යුක්‍රේන නායකයින් දෙදෙනම ඉන්නෙ බල අරගලයක.

නමුත් තමන්ගෙ රට ආරක්ශා කරගන්න ස්වේඡ්ඡාවෙන් සටන කරන සාමාන්‍ය යුක්‍රේන ජාතිකයන් මුළු ලෝකයයේම අවධානය දිනා ගන්නව.
මේ දෙගොල්ලන්ටම වුනු හානිය සුළු පටු නෑ. ඊසාන දිග යුක්‍රේණයේ යුද්ධය මේ මොහොතෙත් ඇවිලෙනව.

මෙන්න මේ තත්වය යටතෙයි පින්ලන්තයයි ස්වීඩනයෙයි නායිකාවො දෙන්න නේටෝ සංවිධායනය හා එකතු වෙන්න තීරණය කරන්නෙ. නේටෝ සංවිධානයේ ඉතිහාසයත්.. අරමුණුත් අපි පහුගිය ලිපිවල සාකච්ඡා කරපු නිසා අලුතින් ඒ ගැන ලියන්න අවශ්‍ය නැහැ.

ක්‍රිස්තු වර්ශ 600-1100 වගේ කාලය තුල යුරෝපයේ වයිකින්ග් වරුන්ගෙ බලය ඉතාම ඉහලයි.
( Viking era of Europe)
නෝර්වේ.. ස්වීඩනය හා ඩෙන්මාර්කය මුල් කරගෙන මේ අය තමන්ගෙ නාවික බලයෙන් ලෝකය පුදුම කරනව.
යුධ බලය වගේම මේ අයගෙ පාලන උපක්‍රමත් ඉතාම සාර්ථකයි.
මේ නිසා තමා කියෙව් රාජ්‍යයත් ( වර්ථමාන ‍යුක්‍රේණය ) රුසියානු පාලකයනුත් වයිකින්ග් වරුන්ගේ ආධාර උපකාර ලබාගත්තෙ පාලනය ගෙනි යන්න.

මෙන්න මේ උදව් වලට කලගුණ සැලකීමක් විදිහට විශාල කැලෑ භූමි ප්‍රදේශයක් රුසියානු කියෙව් පාලකයන් විසින් ස්වීඩන් වයිකින් වරුන්ට ලබා දෙනව ( වර්ථමාන පින්ලන්ත භූමි ඇතුලත් ප්‍රදේශයක්).

රුසියානු ස්වීඩන පාලනයන් අතර සංචරනය වෙන මේ බිමේ 1917 දී තමයි පින්ලන්තය නිල වශයෙන් බිහි වන්නෙ. ඉතාම සීමිත පිරිසකගෙන්ද.. ග්‍රාමීය ගොවියන් හා දඩයම් කරුවන්ගෙන් සමන්විත වූ පින්ලන්ත හමුදාව රුසියානු රතු හමුදාව පරාජය කරල තමයි පින්ලන්තය නිදහස් රාජ්‍යයක් ලෙස පිහිටුවන්නෙ.

මේ යුද්ධය කියන්නෙ පින්ලන්ත ජාතිකයන්ගෙ කඩ ඉමක්. අධික සීතලේ මීටර් ගනන් උස හිම කඳු මැද්දෙ පින්ලන්ත හමුදාව එක්ක සටන් කරන එක කිසිම හමුදාවකට ලේසි පහසු වැඩක් නෙවේ.

පින්ලන්තයත් රුසියාවත් අතර දේශ සීමාව කිලෝ මීටර් 1300 ක් තරම් දිගයි. මේ තරම් විශාල දේශසීමාවක් මහ විශාල රුසියානු ආක්‍රමණයකින් ආරක්ශා කරගන්න එක ලේසි පහසු වැඩක් නෙවේ.
නමුත් ලොව සතුටුම ජනතාව වෙසෙන පින්ලන්තය ඒ තර්ජනය ඒ තරම් සලකන බවක් පේන්න නැත්තෙ මේ දිනවලත් ඔවුන් වසන්ත උත්සව එක්ක තමන්ගෙ එදිනෙදා ජීවිතය ගෙන යන නිසයි.

යුධ විශ්ලේශකයන් කියන ආකාරයට න්‍යශ්ඨික ප්‍රහාරයක් ඇතිවුනොත් පින්ලන්ත ජනගහනයෙන් වැඩි දෙනෙක්ට ආරක්ශාකාරීව ලැගුම් ගන්න පුළුවන් බංකර් පද්ධතියක් ඔවුන් සතුව තියනව.
පින්ලන්තයේ ජනගහනය මිලියන 5.5ක්. ( ඒ වගේ හතර ගුණයක ජනගහනයක් ලංකාවෙ ඉන්නව.)
මේ මිනිස්සු තාක්ශණය අතින් ඉතාම දියුණුයි. ඕනෙම දේශගුණ තත්වයකට ඔරොත්තු දෙන පින්ල්නත් ජාතිකයන් හරිම කඩිසරයි.

සානා මරීන් තමන්ගෙ ශ්‍රමය හා මුදල් වැඩිපුර යොදවන්නෙ අධ්‍යාපනය.. සෞඛ්‍ය.. තාක්ශණය.. දරුවන්ගේ සුභසාධනය වගේ ක්ශේස්ත්‍ර වලට.
නමුත් පුටින් මහත්තයා තමන්ගෙ මුළු ආදායමම යොදවන්නෙ යුධ ශක්තිය ගොඩ නගන්නත් මාධ්‍ය හරහා තමන්ගෙ ප්‍රථිරූපය ගොඩ නංවන්නත්.
සානා නෝනගෙ පෞද්ගලික ආරක්ශයන් සංඛ්‍යාව අට දෙනෙක් . ඒ අයත් සේවය කරන්නෙ අත්‍යාවශ්‍යම අවස්ථාවන් වලදී පමණයි.
පුටින් මහත්තයාගෙ පෞද්ගලික ආරක්ශකයන් සංක්‍යාව හය දාහකට අධිකයි.

සානා නෝනට තියෙන්නෙ තමන්ගෙ ගමේ කාමර දෙකක කුඩා නිවසක් විතරයි.
ඒ ඇරුනම එක දූශණ චෝදනාවකුත් තියනව..
ඒ උදෑසන ආහාර වේල් කීපයකට මහජන මුදල් වැය කිරීමේ චෝදනාව. ( ඒක හරි රසවත් සිද්ධියක් වෙනම කතා කල යුතු).

අනිත් අතින් ව්ලැඩිමීර් පුටින් කියන්නෙ ලෝකයේ ඉන්න ධනවත්ම දේශපාලකයන් අතර ඉහලින්ම ඉන්න කෙනෙක්.
අයිති කරුවන් නැති මාලිගා හා බලකොටු.. ලොව පුරා තියෙන හෝටල්… ගෑස් හා පෙට්‍රල් ව්‍යාපාර.. නැව් .. ගුවන් යානා වගේ බොහෝ දේ හිමි මේ මහත්තයා සුපිරි ජීවිතයක් ගත කරන කෙනෙක්.
මෙයාට තියෙන දූශණ චෝදනා දෙවෙනි වෙන්නෙ රාජපක්ශ පවුලේ සාමාජිකයන්ට විතරයි.

පින්ලන්ත ජනතාව රූපවාහිනී නරඹනව ඉතාම අඩුයි. ඒ අය වැඩිපුර පොත් කියවනව.. සංගීතයට ඇහුම් කන් දෙනව.. එලි පහලියේ ගත කරන්න බොහොම කැමතියි.
රුසියානු ජනතාව රූපවාහිනී නරඹනව නිතරම. ඒ අයට උදේ ඉඳන් රෑ වෙනකල් බලන්න තියෙන්නෙ පුටින් මහත්තයාගෙ වර්ණනාව හා එයා ඇමරිකා එක්සත් ජනපදයට අභියෝග කරන හැටි.

පින්ලන්ත රජයේ අමාත්‍ය වරු වැඩි දෙනා තරුණයි. ඒ අයගෙ සහායකයන් එක්ක එකතු කරල ගණනය කරොත් මේ අයගෙ වයසේ මධ්‍යස්ථය අවුරුදු හතලිස් පහක්.
නමුත් රුසියානු රජයේ වැඩි දෙනා අවුරුදු 60 ට වැඩියි.

පහුගිය අවුරුදු පහ තුල පින්ලන්තයේ කිසිම මාධ්‍ය වේදියෙක් හිරිහැරයට ලක්වෙලා නෑ.
අනිත් අතින් දාහකට අධික රුසියානු මාධ්‍යවේදීන් හිරගෙවල් වල.

මේ තොරතුරු වලින් අදහස් වෙන්නෙ නෑ රුසියානු ජනතාව පහත් හා පින්ලන්ත ජනතාව උසස් කියල.
නමුත් පාලකයින්ගේ තීරණ මත මේ දෙරටේ ජනතාව ගමන් කරන්නෙ දිශාවන් දෙකකට කියල හිතන්න පුළුවන්.
අනිත් අතින් කපටි මාධ්‍යවේදීන් කියනව වගේ මෙතන බටහිර නැගෙනහිර ගැටුමක් නෑ. මේ දෙගොල්ලම ජීවත් වෙන්නෙ එකම ප්‍රදේශයේ.
( බටහිර ගැති යන පාඨය කපටි දේශපාලන නිර්මාණයක්බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ)

තව කාරණයක් අමතක කරන්න බෑ .. ඒ තමයි ඇමරිකානු බලපෑම. නේටෝ සංවිධානයේ බලවතා ඇමරිකා එක්සත් ජනපදය බව ඇත්ත. නමුත් නේටෝ හා යුරෝපීය රටවල් එකතු වෙන්නෙ තමන්ගෙ ස්ව කැමැත්තෙන් මිස ඇමරිකානු බලපෑමෙන් කියල කියන්න අමාරුයි. නැගෙනහිර යුරෝපීය රටවල් කැමති බටහිර යුරෝපීය නිදහසට මිස රුසියානු දඬු අඬුවට නෙවේ.
නමුත් ඇමරිකානුවන් උපායශීලී වෙනව යුරෝපීය රටවල් සමග වැඩි වැඩියෙන් සම්බන්ධකම් ඇතිකර ගන්න.

රාජපක්ශ වරුන්ට විරුද්ධව මුළු ලෝකය පුරාම ගෝඨාගෝ ගම් නිර්මාණය වුනා. බොහෝ රටවල උද්ඝෝශණ දකින්න තියනව. නමුත් චීනයේ වගේම රුසියාවෙත් මේ උද්ඝෝශණ දකින්න නෑ.
මාධ්‍ය නිදහස හා මානව නිදහස ගැන මීට වඩා උදාහරණ අවශ්‍ය නැහැ.

රුසියාව යනු සමාජවාදී රටක් ලෙසත් ව්ලැඩිමීර් පුටින් යනු සමාජවාදී නායකයෙකු ලෙසත් වරදවා වටහා ගත් පැරනි ලාංකීය වාමාංශික කොටස් වලින් පහුගිය දවස්වල මේ ලියන මට සෑහෙන චෝදනා එල්ල වුනා.
ඒ අයට නැවතත් කියන්න තියෙන්නෙ රුසියාවෙ තියෙන්නෙ සමාජවාදී රජයක් නෙවේ.
ඒ රටේ තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයත් නෙවේ. රුසියාවෙ තියෙන්නෙත් කාකිස්ටොක්‍රසි ආන්ඩුවක් ලංකාවෙ වගේම. ( Kakistocracy Government)
ඒකෙන් අදහස් වෙන්නෙ අඩුම සුදුසුකම්.. අඩුම බුද්ධියක් ඇති පිරිසක් මගින් රටක් පාලනය කිරීමයි.
අනිත් අතින් එක්තරා ආකාරයක ඒකාධිපති ආන්ඩුවක්.

මේ අතරෙ ඊයෙ රුසියානු නායකයා හරි අපූරු කතාවක් කියනව. “ඕනෙම රටකට නේටෝ සංවිධානය හා එකතු වෙන්න පුළුවන්. නමුත් ඒ මගින් අපේ රටට තර්ජනයක් වෙනව නම් අපි නිසි පියවර ගන්නව ..”
මේ ගැන ඊයෙ මාධ්‍ය වේදියෙක් ඇහුව මරීන් නෝනගෙන්.
එයා කීවෙ ..”ඒ ගැන ඔබ ඇසිය යුත්තේ ව්ලැඩිමීර් පුටින්ගෙන් මිස මගෙන් නෙවෙයි මහත්තයා.”
“මගේ රටේ මිනිස්සු සතුටින් නිරෝගීව ඉන්නවද කියල ඔබ මගෙන් අහන්න මං ඒකට පිලිතුරු දෙන්නම්. “එයා කීවෙ එහෙම.

අල්ලට සිඟාවත් කවිය අහල තියනවනෙ අපි හැමෝම… ඒ නිසයි තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල ඉඳල වුනත් අපි ලෝකෙ සිද්ධ වෙන දේවල් දැනගන්න ඕනෙ.
අනිත් අතින් අවුරුදු අසූවටත් වැඩි ඇවිදගන්න බැරි මහල්ලන් විසින් පාලනය කරන ලංකාවෙ තත්වයත් අවුරුදු තිස් ගණන් වල නායකයින් පාලනය කරන පින්ලන්තෙ තත්වයත් සංසන්ධනය කරන්න කාට හෝ මේ පොඩි ලියවිල්ල වැදගත් වේවි.

උපුටා ගැනීම : Malcolm sang ෆේස්බුක් පිටුවෙන්

Social Sharing
නවතම විශේෂාංග