පියතුමාගේ විදේශ ගමන් තහනම්, CID නියෝගයක්.

ගාලුමුවදොර අරගල භූමියේ අඛණ්ඩව , දිවා රෑ නොබලා රැඳෙමින් , තරුණ තරුණියන් ආරක්ෂා කරමින්, අභීතව අරගලයට ජීවය දුන් ගරු.ජීවන්ත පීරිස් පියතුමාගේ සහ තවත් අරගල බිමේ පැමිණිලිකරුවන් හය දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් , ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය වහාම කොටුව අධිකරණයට බාර කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ ස්ථානාධිපති විසින් නියෝග කොට ඇත.

ඔහු මෙම නියෝගය කොට ඇත්තේ පසුගිය 09 දින ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට එල්ලකරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ගරු.ජීවන්ත පියතුමා හා තවත් පාර්ශවයන් විසින් කරන ලද පැමිණිල්ලට අදාළ නඩු කටයුත්තේ ඉදිරි විමර්ශන සඳහා බවට සඳහන් කර ඇත.

09 දින එම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ලකළ, සැලසුම් කළ පුද්ගලයින් බහුතරයක් තවමත් නිරුපද්‍රිතව නිදැල්ලේ සිටින පසුබිමක තම ජීවිත පරිත්‍යාගයෙන් අරගල බිම සහ අරගල කරුවන් රැක ගැනීමට කැපවූ ගරු.ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු අනෙකුත් අරගල කරුවන් වෙත කරන ලද පිළිකුල් සහගත , නින්දිත රාජ්‍ය මර්දනය දැඩි ලෙස හෙළා දකින අතරම, කොන්දේසි විරහිතව උන්වහන්සේ ඇතුළු මෙම මර්දනයට මුහුණ පා සිටින සියල්ලන් වෙනුවෙන් පෙනීසිටින බවද දන්වා සිටිමි.

ශෙහාන් මාලක ගමගේ
22.05.2022

Social Sharing
නවතම