ලසන්ත මැරුවේ මිග් ගනුදෙනු හෙළිදරව්ව නිසා

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට හේතුව මිග් යානා ගනුදෙනුව හෙළිදරව් කිරීම බව නෙදර්ලන්තයේ හේග් නුවර මහජන විනිශ්චය සභාව විසින් පවත්වන නඩු විභාගයේදී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.

තමන් මෙම ඝාතනය පිළිබඳව විමර්ශනයේ යෙදුනු බවත් එතුළින් හමුවූ තොරතුරු අනුව මෙම ඝාතනයට හේතුව ලෙස මෙම වංචාව හෙළි කිරීම බව අනාවරණය වෙන බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත.

මෙම ඝාතනය සිදුකළ ඝාතකයන් භාවිත කළ ජංගම දුරකථන සහ ජංගම දුරකථන කුළුණු සටහන් මගින් ඔවුන් හඳුනා ගත් බව ප්‍රකාශ කර ඇති ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, එම විමර්ශන අවසානයේ ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධානීන් ළග නතරවුණ බවත් ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මාධ්‍ය නිදහස පිළිබඳව වූ සංවිධාන එකමුතුවක් මගින් ඉදිරිපත් කරන ලද අධිචෝදනා පත්‍රයක් මත ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මැයි 12 වන දින හේග් හි මහජන විනිශ්චය සභාව විභාගය ආරම්භ කර ඇත.

මෙහි සාක්ෂි ලබාදුන් නිශාන්ත සිල්වා යනු පසුගිය කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ දක්ෂ පොලිස් නිළධාරියෙක් ය. නාවික හමුදාව පැහැරගෙන ගොස් 11 දෙනෙකු මරාදැමීම ආදී ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවූ පොලිස් නිළධාරියා වන මෙම නිළධාරියා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසුව ආ තර්ජනයන් නිසා දේශපාලන රැකවරණ ලබාගෙන ලංකාවෙන් පිටත ජීවත් වෙයි.

Social Sharing
නවතම