හරීන්,මනූෂ රනිල්ගේ අතේ එල්ලෙයිද?

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඉදිරිපත් කළ කරුණු 07කින් යුත් ලිපියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිතුරු ලිපියක් එවමින් ඔවුන් දෙදෙනාට තමන් සමග එක්වන්නට කොළ සංඥාවක් නිකුත් කර ඇත.

හරින් සහ මනූෂ පවත්නා දේශපාලන තත්ත්වය තුළ ගැටලු කිහිපයක් පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු විමසා ලිපියක් යැවූ අතර එම ලිපියට අග්‍රාමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත. මෙම ප්‍රතිචාරයන් සමග සජබ වෙතින් එන ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ඉහත මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩුවට එකතුවී ඇමති ධුර ලබාගැනීමේ යම් සූදානමක් පවතින බවය.

මෙහිදී ඔවුන්ගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඔවුන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්විය යුතු බවට වූ බහුතර මතය සමග තමන් එකඟ වන බවත්, ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම සඳහා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවත් මෙම ලිපිය මගින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.

එහිදී 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව අධ්‍යයනය කර ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් විජේදාස රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව ද ප්‍රකාශ කරන අග්‍රාමාත්‍යවරයා, මැයි 09 වැනි දින කොළඹදී සාමකාමීව විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බවත් ඒ සඳහා තම පූර්ණ සහයෝගය ලබාදෙන බවත් එම පරීක්ෂණවල ප්‍රගතිය සති දෙකකට වරක් පාර්ලිමේන්තුව වෙත වාර්තා කරන්නට පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී ඇති බවත් ප්‍රකාශ කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ පැවැත්වෙන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා අවශ්‍ය නම් විදේශ සහය ලබා ගැනීමට සූදානම් බවද ප්‍රකාශ කර ඇත.

දැනට බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායකට අදාළ නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශේෂ විද්වත් කමිටුවක් පත් කරන බව ප්‍රකාශ කරන අග්‍රාමාත්‍යවරයා රට තුළ ස්ථාවරභාවයක් ඇති වූ වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන බවට ද ප්‍රකාශ කර ඇත..

Social Sharing
නවතම