ශ්‍රී ලංකාවේ අරගලය සහ රංග කලාව

දශක ගණනාවක් පුරා පැවති දේශපාලන සහ සමාජ අර්බුදයන්ට සෘජුවම ප්‍රතිචාර දක්වමින් දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් නිරන්තරයෙන් නිර්මාණකරණයේ යෙදුන කලා මාධ්‍යයක් විදිහට ලංකාවේ වේදිකා නාට්‍ය කලාව හදුන්වා දෙන්න පුළුවන්. මුලින්ම මම වේදිකා නාට්‍ය බලන්න කාලෙ වෙනකොටත් යෞවන සම්මාන උළෙල, රාජ්‍ය නාට්‍ය උළෙල ආශ්‍රිතව බිහි වුණ බහුතරයක් කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය විසින් පවතින අධිපති මතවාදයන්ට ප්‍රති පක්ෂ මතවාදයන් වෙනුවෙන් පෙනී හිටියා. තවමත් එහෙමයි. ප්‍රවීණයො විතරක් නෙමෙයි විශේෂයෙන්ම තරුණ තරුණියන් සක්‍රීය ලෙස මෙම තත්වය තුළ නිර්මාණ වලින් මැදිහත් වුණා.

මහාචාර්ය රංජනී ඔබේසේකර, ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවගම, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු වගේ අය සිංහල නාට්‍ය කලාව පිළිබදව ලියලා තියෙන ලිපි වලින් ලංකාවේ නාට්‍ය කලාව සහ දේශපාලනය අතර තිබිලා තියෙන දැඩි බැදීම පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම 1980 දශකයෙන් පස්සෙ ජනමාධ්‍ය පාලකයාගේ මාධ්‍ය බවට පත් වීමත් සමග විකල්ප මාධ්‍ය භාවිතාවක් විදිහටත් නාට්‍ය කලාවේ වැදගත්කම තවත් වැඩි වුණා. ඒ වගේම දේශපාලනය කියලා අපි සාමන්‍යයෙන් හදුන්වපු පක්ෂ දේශපාලනයට එහා ගිය දෘෂ්ටිවාදී දේශපාලනය ඒ කියන්නෙ පවුල, ආගම, ජාතිය, අධ්‍යාපනය, රැකියා ස්ථානය, ආදරය වැනි ආයතන සහ සම්බන්ධතා වල බලය ක්‍රියාත්මක වන විදිහ පිළිබදව නාට්‍යකලාව තුළ නිර්මාණ ඉදිරිපත් වුණා. මේ සියලුම දේවල් වල අවසාන යෝජනාව වුණේ මේ පවතින ක්‍රමය වෙනස් විය යුතුය කියන අදහස. ඒක නිසා ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව කියන්නෙ සුවිශේෂී භූමියක්.

ලෝක දේශපාලනය, කොවිඩ් අර්බුදය, පාලකයන්ගේ හොරකම්, පාදඩ දේශපාලන සංස්කෘතිය, ජාතිවාදය වගේ කාරණා ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව අද වන විට දරුණු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම ඒ අර්බුදය නිසාම පවතින ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතියට දරුණු විරෝධයක් එල්ල වෙමින් තිබෙනවා. විකල්ප දේශපාලන කතිකාවකට දොර විවෘත වෙලා තිබෙන මේ මොහොත ලංකාවේ නාට්‍යකරුවන්ට අතිශියන්ම වැදගත් කියලයි මට හිතෙන්නෙ. දරාගන්න බැරි ජීවන වියදම, තෙල් ප්‍රශ්නය වගේ දේවල් වලින් බහුතරයක් දෙනාට නව දේශපාලන සංස්කෘතියක් පිළිබද අදහස ආවා. උදාහරණයකට වර්ගවාදයට තවදුරටත් පැවැත්මක් නෑ කියලා හැමෝම වාගේ පිළිගන්න තත්වයකට ආවා. නමුත් මෙම අදහස් වල පැවැත්ම අවිනිශ්චිතයි. බැරි වෙලාවත් තෙල් ප්‍රශ්නය විසදුනොත් නැවතත් අපගේ පරණ දේශපාලන අදහස් ටික නැවතත් පණ ගැන්වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මෙතනදි තමයි රංග කලාව වැදගත් වෙන්නෙ.

මේ පවතින අවකාශය ප්‍රයෝජනයට අරගෙන මෙච්චර දවසක් රගහලක් තුළ මතුකළ විකල්ප දේශපාලන කතිකාව මහපාරට ගෙන්න ඕනෙ කියන එකයි මගෙ අදහස. ලෝකයේ එහමෙ දේවල් සිද්ද වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට Augusto Boal සිදුකළ මැදිහත් වීම මෙහිදී ඉතාමත් වැදගත්. ඔහුගේ නිව්ස් පේපර්, පොටෝ රොමෑන්ස්, ඉන්විසිබල්, මිත් තියටර් වගේ බොහෝ ආකෘති මේ මොහොතේ ලංකාවේ සමාජය තුළ ඉතා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. ඒවා තුළින් සහභාගීවන්නන් සමග ගොඩනගන අන්තර් සම්බන්ධතාවය මේ මොහොතේ අතිශය ප්‍රායෝගික වෙයි කියලා හිතනවා. මොකද දේශපාලන බලය වෙනස් වුණාට සමාජය තුළ කාලාන්තරයක් තිස්සෙ සැකසුණ දෘෂ්ටිවාදයන් වෙනස් වෙයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ. ඒ සදහා තමයි නාට්‍යකරුවා මැදිහත් විය යුත්තෙ. ඒ සදහා ලෝකයේ ඕනෑතරම් පර්යේෂණ සිද්ධවෙලා තියෙනවා වගේම ඒවා අපිට අවශ්‍ය විදිහට ප්‍රතිනිර්මාණය කරගන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් සිදුකරන අරගලය. මට අනුව රංග කලාව කියන්නෙ අරගලයේ කලාව. Augusto Boal ඔහුගෙ Theatre of the Oppressed කෘතියෙ මෙහෙම කියනවා.

“Perhaps the theatre is not revolutionary in itself but have no doubts it is a rehearsal of revolution! “

චමිල ප්‍රියංක

Social Sharing
අවකාශය විශේෂාංග