සජිත් ගේ සෙල්ලම, ලෙල්ලම වෙන ලකුණු

අගමැති ධුරය ගන්නවා කියමින් නැවත නැවතත් සිය ස්ථාවරය වෙනස් කළ සජිත් ප්‍රේමදාස සමග නොරැඳී සජබ මන්ත්‍රීවරුන් 27 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන්නට සූදානම් වෙමින් ඇතැයි අයිතිය වෙත කරුණු වාර්තා වෙයි.

පසුගිය (10) දා සජිත් ප්‍රේමදාස අගමැති ධුරය ලබාගන්නා බව සජබ මන්ත්‍රී කණ්ඩායමට පොරොන්දු වූ අතර පසු දා එනම් අද (11) එම ස්ථාවරය වෙනස් කරමින් ජනාධිපතිවරයා නිශ්චිත කාලයක දී තනතුර හැරයන්නට සූදානම් නම් අග්‍රාමාත්‍ය තනතුර භාරගෙන රට මෙම අර්බුදයෙන් මුදාගන්නට සූදානම් බව ප්‍රකාශ කළේය.

මෙම තීරණයත් සමග සජබ මන්ත්‍රිවරුන් සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර හට සිය විරෝධය දක්වා ඇති අතර අද (11) හවස් වනවිට හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සජබෙන් ඉවත්වී ස්වාධීන වීමට තීරණය කළේය.

මෙම තත්ත්වය සමග රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් නිර්මානය කරන්නට සහාය දෙන්න මෙම මන්ත්‍රීවරුන් සාකච්ඡාකර ඇති අතර එම සාකච්ඡාවලින් පසුව අද (11) හවස ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී 113 ක මන්ත්‍රී සංඛ්‍යාවක් සොයාගන්නා පොරොන්දුව මත රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කිරීමට ජනාධිපතිවරයා එකඟවී ඇතැයි දැනගන්නට ලැබේ.

මෙම තත්ත්වය සමග මෙම ප්‍රවෘත්තිය ලියන මොහොත වනවිට නැවත සජිත් ප්‍රේමදාස මහතා සහ සජබ ජේෂ්ඨයන් නව ආණ්ඩුවක් බිහිකරගැනීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සජබ ජේෂ්ඨයෙක් අයිතිය වෙත ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවෙන් පසුව අද (11) රාත්‍රී 9ට ජාතිය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම සතිය තුළ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවය.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් සජබ නියෝජනය කරන හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේ තම නායකයාට සෘජු තීරණයක් ගන්නට නොහැකිවීම තුළ සජබ දෙකඩවීමේ අනතුරක් මතුව ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා තනි මන්ත්‍රීවරයෙක් පමණක් බව ප්‍රකාශ කළ ඒ මහතා ශ්‍රීලනීපය සජිත් ප්‍රේමදාස හට සහාය දෙන්නට කැමතිවී ඇති පසුබිමක 113ක් හදාගැනීම අවිනිශ්චිත බව ප්‍රකාශ කළේය.

එහෙත් පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ හට සහාය දෙන්නට තීරණය කළහොත් 113ක් සාදාගැනීම ඔහුට අසීරු නොවෙනු ඇතැයිද ප්‍රකාශ කළේය.

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග