ඔහු පැතූ ස්වර්ග රාජ්‍යයම හිමි වේවා..!

ලීනස් ජයතිලක ගේ මරණය ගැන අසා මම අතීශයින් දුක්වූවෙමි. මා ලීනස් ජයතිලකව හදුනන්නේ අසූව දශකයේ අගභාගයේ සිටය. ඒ බ්‍රිටෝ අය්යා හරහාය. පල්ලියේ තරුණ වීරයෙක් වු බ්‍රිටෝ අය්යා ඒ දිනවල නව සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු විය. නිතර එහි යන අප, වරක් ලීනස් ජයතිලකව මුණගැහුණි. අපට වඩා බොහෝ වැඩිමහල් වූ ඔහු කොල්ලෝ-කුරුට්ටන්වු අපගෙන් කෙලින්ම ඇසුවේ “සහෝදරයා කොහෙද? දෙමව්පියෝ කවුද?” කියාය. මම මගේ මවගේ සහ පියාගේ නම් කිව්වෙමි. එසැනකින්ම ඔහු “ආ මේ ෆීලික්ස්ගෙයි, ෆ්‍රීඩාගෙයි පුතාද? එයාලා ඒකාලේ අපේ මහවීදිය පල්ලියේ තරුණ සමාජයේ හිටියනේ..ඒගොල්ලෝ හමුවුනෙත් එහෙ වෙන්න ඕනේ..” යැයි කියා මගේ දෙමාපියන්ගේ සුවදුක් විමසුවේය.

මම ගෙදර විත් මට බ්‍රිටෝ අය්යලාගේ ගෙදරදී ලීනස් ජයතිලකව හමුවූ බව මගේ දෙමාපියන්ට කීවෙමි. ඔවුන් ලීනස් ජයතිලක මීගමුව මහවීදියේ සා. මරියා දේවස්ථානයේ එවකට සිටි තරුණ පියතුමෙකු බවත්, ඔහු තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍යය ව්‍යාපාරය (YCS) බාරව සිටි බවත්, 1971 කැරැල්ල සමයේ ඇතිවූ තරුණ පිබිදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික පල්ලිය දැක්වු ඇල්මැරැනු උනන්දුව ගැන පල්ලිය දැඩිව විවේචනය කල පියතුමෙක්වූ බවත්, පසුව කතෝලික සභාවේ පුජකවරයෙන් ඉවත්වී පුර්ණ කාලිනව වාමාංශික දේශපාලනයට කැපවු බවත් දැන ගන්නා ලදි.

කතෝලික පල්ලියේ පූජකවරයෙන් ඉවත්වු ඔහු සිය ජීවිත කාලය පුරාම ජනතාවගේ පියතුමා විය. කතෝලික පුජකවරයෙන් ඉවත්වී දශක ගණනාවකට අනතුරුව පවා ඔහුගේ ගමවු උස්වැටකෙයියාවේ පමණක් නොව, මීගමුවේ ජනයාද, ලීනස් ජයතිලකව හැදින්වුයේ ‘ලීනස් ස්වාමි’ ලෙසය. වෙනකක් තබා බ්‍රිටෝ අය්යාගේ පියාවූ නැසීගිය ප්‍රවීන නළු හියුගෝ මාස්‍ටර් ද ලීනස් ජයතිලකව හැදින්වුයේ ‘ලීනස් ස්වාමි’ යනුවෙනි. මා දන්නා ලෙස බ්‍රිටෝ ප්‍රනාන්දු ව නව සම සමාජ පක්ෂයේ දේශපාලනයට එකතුකර ගත්තේද ලීනස් ජයතිලක විය යුතුය . ඒ 1977 දී පමණය. හමුවු දා පටන්ම ‘සහෝදරයා යනුවෙන් අප ආමන්ත්‍රණය කල නිසාම අපද ලිනස් ජයතිලකව පසුව හැදින්වුයේ ලීනස් සහෝදරයා’ යනුවෙනි.

බොහෝ ඇසූ පිරූ තැන් අතැතිව, රටවල් රාශියක සංචාරය කර තිබූ ලීනස් සහෝදරයා, ඉතා හොදින් පොතපත කියවූ, භාෂා කිහිපයක් හැසිරවිය හැකි අයකු විය. විශේෂයෙන්ම මාක්ස්වාදය, කතෝලික ආගම සහ ක්‍රිස්තියානි සමාජ දර්ශනය පිලිබදව සුවිශේෂ දැනුමක් ඔහු සතුවිය. වරක් සුරේෂ් ප්‍රනාන්දු කුරණ-කටුනායක ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය සමග ඇති කර ගත් මතවාදී ආරවුල විසදීමට බ්‍රිටෝ භාරකලේ ලීනස් ජයතිලකටය. දෙපාර්ශවයන් කැදවා ලීනස් ජයතිලක ඉදිරිපත්කල විග්‍රහය මම එතෙක් ක්‍රිස්තියානි ආගම සහ මාක්ස්වාදය සම්බන්ධයෙන් ඇසූ විශිෂ්ඨම විග්‍රහයන් වලින් එකකි. ඕනෑම සාකච්ඡාවකින් අනතුරුව “සහෝදරයා තේරුනාද? මොකක්ද ගත්ත පණිවිඩය?” යනුවෙන් විමසීම ඔහුගේ සිරිතක්ව තිබුනි. කුරණ-කටුනායක කම්කරු සෙවනේ ඇතිවු ඉහත සංවාදයේදී නම් මම උකහාගත්තේ ‘විප්ලවාදි ජීවගුණය’ පිලිබද ඔහු ඉදිරිපත් කල අදහස යැයි කී විට එහිදී මෙන්ම, ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම, විප්ලවවාදී ජීවගුණය පිලිබදව ඔහුගේ අදහස ඔහු නැවැත නැවැතත් කතා කලේය.

න්‍යාය සම්බන්ධයෙන් මෙන්ම ප්‍රායෝගිකව සමාජ සංවිධාන ගොඩනැගීම ගැනත්, ඒවා පවත්වාගෙන යෑමට වැඩපිලිවෙලක් ගොඩනගා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙනුත් ලීනස් සහෝදරයා මහත් හපන්කම් දැක්වුවෙක් ය. 88/89 අතුරුදන්වූවන් වෙනුවෙන් ගොඩනැගුනු ‘අතුරුදන්වූවන්ගේ මාපිය දූදරු සංගමය’ ගොඩනැගීමටත්, ඒවාට අරමුදල් සොයා දීමට ඔහු පල්ලිය සමග ඔහුට ඒ වන විටත් ඉතිරිව පැවැති සම්බන්ධකම් භාවිතා කරමින් Christian Aid වැනි ජාත්‍යන්තර ක්‍රිස්තියානි ස්වෙච්ඡා සංවිධානවලින් අරමුදල් ඉල්ලා දෙන ලදි. වෙනකක් තබා අතුරුදන් වුවන් පිලිබදව පැමිණිලි කිරීමට ජිනීවා හි පිහිටි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට යෑමට සියලු කටයුතු පිලියල කර දුන්නේද, ලියකියවිලි සකස්කර දුන්නේද, ගුවන් ටිකට් පත් ගැනීමට Christian Aid සංවිධානයෙන් මුදල් ඉල්ලා දුන්නේද ඔහුය. මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර සමග ජිනිවා ගිය ඔහු මහින්ද අවශ්‍ය කටයුතුවලට මුල්තැන නොදී වෙනත් දේවලට කාලය මිඩංගු කිරීම ගැන සිටියේ කලකිරීමකිනි. මහින්ද ගැන වු එකී කලකිරීම අතුරුදන්වූ තරුණයෙකුගේ මවක් සිය පුතා අතුරුදන්වූ මාතලේ ප්‍රදේශයේ හමුදා කදවුරක් බාරව සිටියේ මහින්ද ගේ සහෝදරයාවු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව දැන ගැනීමෙන් තවත් කලකිරුණි.

එහෙත්, ඔහු කිසිවෙකු සම්බන්ධයෙන් කිසිදු කහටක් හිතේ දරා සිටියෙකු නොවිනි. පූජක වරයෙන් ඉවත්වුවද කිසිදා විවාහ නොවු ඔහු සිය මුලු ජීවිතය පුරාම නිකලැල්, පිරිසිදු, සරල, චාම් ජීවිතයක් ගත කලේය. ඔහුගේ කරුණාබර මුදු කතා විලාශය මෙන්ම පිලිවෙකට ඇදුම් ඇදීමත් මට කිසිවිටක අමතක වන්නේ නැත. එමෙන්ම ඔහුට එක එක සංවිධාන වැඩ සදහා එක එක දින පොත් තිබීම ගැනත්, ඒවා එහෙ මෙහෙ වීම ගැනත්, අප ඔහුට විහිලු කල වාර අනන්තවත් මතකයට නැගේ.

ඔහු වචනේ පරිසමප්ත අර්ථයෙන්ම පල්ලියෙන් පිටවු නමුත් සිය ජීවිතකාලය පුරාම ශුද්ධවූ ජීවිතයක් ගෙන ගිය සැබෑ ජනතා පියතුමෙක් විය. ඔහුට, ඔහු සිය ජීවිතයම කැපකල ස්වර්ග රාජ්‍යය හිමිවේවායි යන්න මාගේ පැතුමයි !! R.I.P ලීනස් සහෝදරයා!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
11/05/2022
ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගනු ලැබීය

Social Sharing
නවතම විශේෂාංග