ගෝඨාභයගේ අම්මට පිං සිද්ධවෙන්න, අවුරුදු 60කට පස්සේ අපි අද කඩෙන් හාල් කනවා..!

අබේ අයියා මම දන්නේ රාවයේ වැඩකරන කාලේ ඉඳලා. මිනිහා අද උදෙන්ම මට කෝල් එකක් දුන්නා.

‘මල්ලි අපිත් අද පොළොන්නරුවේ උද්ඝෝෂණයේ ඉන්නේ’ මිනිහා හරි ආඩම්බරයෙන් කතාව. ටික වෙලාවක් ගිහිං මම ඇහුවා දැන් කුඹුරු කෙරුවාව කොහොමද කියලා. අබේරත්න කියලා කියන්නේ පොළොන්නරුව පරාක්‍රමසමුද්‍ර ගොවි ජනපදයේ ජීවත් වෙන කෙනෙක්. අබේ අයියලගේ සීයා තමයි 1940 පොළොන්නරුවට එන්නේ. ඒ හතර කෝරළේ ඉඳලා. 1942 තමයි ඔවුන්ට කුඹුරු ලැබෙන්නේ. ඩීඑස් ගේ පළවෙනි ගොවි ජනපදය තමයි අපි මේ කතාකරන පරාක්‍රමසමුද්‍ර ව්‍යාපාරය.

ගම් දෙකක් මේ ව්‍යාපාරය එක්ක හැදෙනවා. මුලින්ම හැදෙන්නේ අඹන්ගඟ කියන ගම. ඊළඟට පරාක්‍රමසමුද්‍රය කියන ගම. ඉතිං අබේ අයියගේ සීයා පදිංචි වෙන්නේ මෙන්න මේ කියන පරාක්‍රමසමුද්‍රය කියන ගමේ. එක ගොයියෙකුට මඩින් අක්කර 05ක් හම්බවෙනවා. පොළොන්නරුවේ හොඳම සරුම කුඹුරු තියෙන්නේ මේ ගොවි ජනපදයේ කිව්වොත් වැරදි නැහැ.

අබේ අයියට පිං සිද්ධ වෙන්න මේ ගොවි ජනපදයේ හැමතැනම මම ඇවිද්දා. ඉතිං දැන් අබේ අයියලගේ කතාවට යමු. ගෝඨාභය රාජපක්ෂ කාබනික ගොවිතැන කියලා එකක් ගෙනල්ලා මේ රටේ ගොවිතැන විනාශම කරලා දැම්මා. අබේ අයියලා තමයි මේ විනාශයේ ජීවමාන සාක්ෂිකරුවන්.

‘මෙහෙමයි මල්ලී මට දැන් අවුරුදු 60ක්. මේ අවුරුදු හැටක ජීවිත කාලේ මම කඩෙන් හාල් ගෙනල්ලා කෑවේ මේ 2022 අවුරුද්දේ තමයි. හිතන්නකෝ මේ මෝඩයා අපිට කොරපු වින්නැහිය ගැන. අපේ කුඹුරු අක්කර 05ට සාමාන්‍යයෙන් වී බුසල් 10ක් ගන්න පුලුවන්. ටැංකි වලින් කිව්වොත් ටැංකි 08යි. පහුගිය කන්නෙ කපලා අපි ගෙට ගත්තේ වී ටැංකි 03යි. ටැංකි තුනයි කියලා කියන්නේ වී මිටි 45යි. වී මිටියකින් සාමාන්‍යයෙන් වී කිලෝ 60 ක් තියෙනවා. හොඳම වී නම් 60%ත් 80%ත් අතර හාල් ගන්න පුලුවන්. ඒත් මේ ගමන තෙල් ටිකටයි බෙහෙත් ටිකටයි මේ සාටකකාරයා කෙළලා දැම්මට පස්සේ අඩි 02කක් 03ක් උස යන වී ගහක් උස ගියේ අගල් 10 ක් 12ක් විතර. ඉස්සර කරලේ බරට වී ගහා කඩාගෙන වැටෙනවා. මේ ගමන එහෙම නෑ. වී කරලෙත් වී ඇට තිබුණේ ඈතින් ඈත. කළු ඇට වැඩියි. බාගේ ඇට වැඩියි.

මේ තත්ත්වය එක්ක අපේ අස්වැන්න බාගෙට බාගයකින් අඩු වුණා. මම අප්‍රේල් මාසෙට විතරක් හාල් කිලෝ 85ක් කඩෙන් අරං කාලා තියෙනවා. මේ අවුරුදු 60ටම මම එහෙම කරලා නෑ. මුන්ට හෙන ගහනවා මේ ගොවියන්ට කරපු වැඩේ නිසා. අපිට මේ පාර වතුර දුන්නා. ඇලවල් ඇරියා. අපි කිව්වා අපිට වතුර එපා කියලා. අපි ඇලවල් වහලා දැම්මා. මේ කන්නේ අපි කුඹුරු කරන්නේ නෑ. මොකද තේරුමක් නෑ. තෙල් ටික පොහොර ටික හරියට ස්ථිරෙට දෙනවනම් විතරයි අපි ආයෙත් කුඹුරුවලට බහින්නේ. නැත්තං අපි කුඹුරුවලට බහින්නේ නෑ.’

මේ ගොවි සහ ආහාර අර්බුදයේ එක පැත්තක්. මේ ආහාර අර්බුදය හිතාමතා ඇතිකරපු දෙයක්. මේකම ඇති ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න.

 

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග