හරීන්ලට මල් ගන්න පුලුවන් ද?

මංගල සමරවීර ගේ උපන්දිනය වෙනුවෙන් ඊයේ (21) විහාර මහාදේවි උද්‍යානයේ සංවිධානය කරපු වැඩේදි අර ගෑනු දරුවා සාගලගෙ ඉදලා හරීන් දක්වා හැවෝටම මල් දෙන එක ගැන මටනම් කිසි අවුලක් නෑ. ඒත් ඉතිං කසුන්සලා ගිම්හානි විදිහටම ඒ ගෑනු දරුවට අන්දන්නේ නැතුව වැඩේ කළානම් මරු. කොහොම වුණත් මගේ කතාව ඒක නෙවෙයි..

ඒ වැඩේ වෙලාවේ මමත් එතන හිටියා, එතන ගොඩක් විපක්ෂයේ කේන්ද්‍රීය චරිත හිටියා. මගේ අදහස මේ අරගලය අස්සේ මේ එකෙකුටවත් මල් දෙන්න වටින්නේ නෑ කියන එකයි. ඒකට හේතුව තමයි මේ කවුරුත් පාර්ලිමේන්තුවට පිටින් මේ වෙලාවෙ තියෙන ජන අරගලය පාර්ලිමේන්තුව අස්සට ගෙනිච්චේ නැති එක. ඒකට බරපතළ මැදිහත්වීමක් කළේ නැති එක.

මේ වෙනකොට විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙල තියෙනවා. දැනගන්න තියෙන විදිහට ඒකට අත්සන් ලබාගැනීම කරන්නේ හරීන් ප්‍රනාන්දු. ඒත් කෝ අත්සන් ගැනීම අවසන්ද? ඇයි මීට වඩා විශාල මැදිහත්වීමක් මේ කවුරුත් කරන්නේ නැත්තේ.

සජිත් ප්‍රේමදාස තමයි මේ වෙලාවේ විපක්ෂ නායකයා. මිනිහා විධායකය අවසන් කරන්න කෙටුම්පතක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඉතාමත් හොඳ දෙයක්. ඒත් ඇත්ත කතාව විශ්වාසභංගයට 113ක් අත්සන් ගන්න බැරිව ලතවෙන විපක්ෂයකට මේක කරන්න පුලුවන් ද කියන දෙයයි. ඒහින්දා එක එක ලියවිලි වලට මුවා නොවී කෙළින් හිටගන්න කියලා සජිත්ට කියන ගමන් විපක්ෂ නායකයා විදිහට පුලුවන්නම් මේ වෙලාවෙ රට භාර ගන්න පෙරට එන්න. අවංකව ඒ සඳහා පෙරමුණ ගන්න. මන්ත්‍රීවරුන් එකතුකරන්න. ඔවුන්ට කතාකරන්න.

සජිත්ට බැරිනම් සජිත් මේ වෙලාවෙ ආණ්ඩුව ගන්න බයනම් ඇයි වෙන කෙනෙක් හරි මූලික වෙලා මේ ආණ්ඩුව වහාම වෙනස් කරන්න කටයුතු නොකරන්නේ? ජනාධිපතිට ‘ගෝ හෝම්’ කීවට මිනිහා යන්නේ නැත්තං ඇයි පාර්ලිමේන්තුවට එකතුවෙලා පාර්ලිමේන්තු බලය හරහා මිනිහා අකර්මණ්‍ය කරන්න බැරි. ඒක සංවිධානය කරන්න ඒකට නායකත්වය දෙන්න කෙනෙක් මේ පාර්ලිමේන්තුව අස්සේ නැත්තේ ඇයි?

අඩුම විපක්ෂයයේ පක්ෂ එකතුව එක මේසයකට ගන්න නායකයෙක් මෙතන නැද්ද? එතනයි ප්‍රධාන ගැටලුව තියෙන්නේ. අර්බුද අස්සේ ඒවාට දක්වන ප්‍රතිචාර උඩ තමයි නායකයෝ නායකත්වයන් බිහිවෙන්නේ, ඒත් අපේ කරුමෙකට විපක්ෂය අස්සේ අපිට එවැනි චරිතයක් තවමත් පේන්න නැත්තේ ඇයි?

මෙහෙම ගියොත් මේ අරගය දියාරුවෙනවා වගේම මේ රට තවත් අගාධයට යනවා. අද වෙනකොට බෙහෙත් නෑ. මේක දරුණු ඛේදවාචකයකින් කෙළවර වෙන්න පුලුවන්. ඇයි එවැනි තත්ත්වයක් අස්සේ පවා මේ පිරිසට එකතුවෙලා මේ රටට නායකත්වය දෙන්න බැරි.. මෙන්නමේ බැරි බැරියාව නිසා මුන්ට මල් දෙනවට වඩා හොඳයි පොඩි කණේපාරක් දීලා පියවි සිහියට ගන්න එක. අඩුම කෙළවෙන්න හරි මේක භාරගනියව් කියලා කියන්න ඕනී ජනතාව.

ඒ නිසා මල් දෙන්න වගේම මල් ගන්නත් මේ මිනිස්සු සුදුසු වෙන්න ඕනී..!

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග