නැවතත් තෙල් මිල වැඩි කිරීමට එරෙහි ව, පසුගිය 19 වන අඟහරුවාදා දින රඹුක්කන දී විරෝධතා දැක්වූ දහස් ගනනක ජනයාට වෙඩි තැබූ පොලීසිය, එක් පුද්ගලයෙකු මරා දමා 27 දෙනෙකුට පමන තුවාල සිදු කල අතර, ඉන් කිහිප දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා සිටිති. අනෙක් ප්‍රදේශවල මෙන් ම, පෙට්‍රල් හා ඩීසල් නොලබා, රඹුක්කන ඉන්ධන බෙදාහැරීමේ ස්ථානයේ ද දහස් ගනනක් මහජනයා පසුගිය දවස් තුන තිස්සේ පෝලිම්වල බලා සිට ඇත. සඳුදා රාත්‍රීයේ දී පෙට්‍රල් බවුසරයක් ඉන්ධන පොලට ලඟා විය. ඊයේ බෙදාහැරීම ආරම්භ කල විට, තමන් දවස් ගනනක් තිස්සේ බලා සිටි නිසා, ඉන්ධන කලින් මිලට ම ලබා දෙන ලෙස මහජනයා ඉල්ලා සිටියහ.
එය ප්‍රතික්ෂේප කල විට, මහා මාර්ගය හා දුම්රිය මාර්ගය හරස් කරමින් මහජනයා විරෝධතාව ඇරඹූහ. රඹුක්කන හා ඒ ආසන්න පොලිස් ස්ථානවලින් පොලීසිය මහා පරිමානයෙන් බලමුලු ගන්වන ලදී. දහවල වන විට තත්ත්වය අතිශයින් උනුසුම් සහගත විය. මහජනයා ඉවත් වීම ප්‍රතික්ෂේප කල විට, පොලීසිය කඳුලු ගෑස් යොදාගෙන පහර දුන්නේ ය. ඊලඟට එක්වරම, කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව, පොලීසිය සෙනග මතට ජීව උන්ඩවලින් වෙඩි තැබීම ඇරඹුවේය. තුවාල සිදු වූවන් රඹුක්කන හා කෑගල්ල රෝහල්වලට ගෙන එනු ලැබී ය. මේ සිද්ධියෙන් වෙඩිපහර ලක්වූ ලක්ෂාන් කෑගල්ල රෝහලේ දී මිය ගියේය. බරපතල තුවාල සිදු වූ පුද්ගලයන් පස් දෙනෙකුට ද එම රෝහලේ ම ප්‍රතිකාර කරනු ලැබේ.
මෙවන් හැසීරීමකින් යුතුව ක්‍රියාකිරීමට පොලීසියට නෛතිකව හැකියාවක් තිබේද? පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කුමක් පැවසුවද පොලීසිය ඇතුළු රාජ්‍ය ආරක්ෂක අංශය කටයුතු කළ යුත්තේ තමන්ට නීතියෙන් නියම කොට ඇති නෛතික රාමුව ඇතුලත පමණි. ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවෙන් වධහිංසාව, කෲර අමානුෂික අවමන් සහගත සැලකිල්ලකට හෝ දඩුවමකට යටත්වීමෙන් වැළකී සිටීමේ අයිතිය සෑම පුද්ගලයෙකුටම ලැබිය යුතු මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස නෛතිකව පිළිගෙන තිබේ. එසේම එහි 13(4) ව්‍යවස්ථාව ප්‍රකාරව නිසි බලය ඇති අධිකරණ ක්‍රියාමාර්ගයකින් පරිබාහිරව පුද්ගලයෙකුට මරණ දඩුවමින් දඩුවමට ලක් කළ නොහැකි වේ. ඒ අනුව එවැනි ආකාරයකට රාජ්‍ය පොලීසිය මගින් නීතියට අනුකූල නොවන අයුරින් යම් මනුෂ්‍ය ඝාතනයක් සිදු වුවහොත් එය නීතිවිරෝධී මනුෂ්‍ය ඝාතනයක් බවට පත් වන අතර එය ඉහත සඳහන් කළ ව්‍යවස්ථාවල සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබනවා සේම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ මනුෂ්‍ය ශරීරයට එරෙහිව සිදුකරනු ලබන වැරදි යටතේ 296 වගන්තිය ප්‍රකාරව මිනීමැරීම නම් අපරාධ වරද සංයුක්ත කරන්නක් බවට පත්වේ. එසේම වධහිංසාව පිටුදැකීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් 1994 අංක 22 දරණ වධහිංසාව,කෲර අමානුෂික අවමන් සහගත සැලකිලි හෝ දඩුවම් වලට එරෙහි සම්මුති පනත පනවමින් වධහිංසාව වැළැක්වීම සම්බන්ධයෙන් ලංකාව පාර්ශවකරුවකු ලෙස අත්සන් තබමින් පිළිගෙන තිබූ ජාත්‍යන්තර සම්මුතිමය නීතිය ශ්‍රී ලංකාවේ දේශීය නීතියට ඇතුළත් කරමින් ලංකාව තුළ ඒ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාත්මක භාවය ලබා දී මේ වන විට අවුරුදු 25 ක් ගතවී හමාරය.
එම 1994 අංක 22 දරණ වධහිංසාව,කෲර අමානුෂික අවමන් සහගත සැලකිලි හෝ දඩුවම් වලට එරෙහි සම්මුති පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව පුද්ගලයෙකුට එරෙහිව සිදු කරනු ලැබූ වධහිංසාත්මක ක්‍රියාවක් සිදුකරනු ලැබුවේ, උසස් නිලධාරියෙකුගේ හෝ රාජ්‍ය අධිකාරියක නියමයක් මතය යන කරුණ නිදහසට කාරණාවක් නොවන බව පැහැදිලිව දක්වා ඇත. එබැවින් මෙවන් නෛතික විධිවිධාන පවතින තත්වයක් තුළ ඊට අනුගත නොවී පොලීසිය සිදු කළ මෙම තුච්ච ක්‍රියාව මුළු මහත් ලෝකයම කම්පාවට පත් කරන සහ හෙලා දකින ක්‍රියාවක් බවට පත්වී හමාරය.
නීතීඥ ලක්ෂාන් ප්‍රනාන්දු