මොහොතක් සිතන්න..!!

අපිට දැන් දැන් නිතරම ඇහෙන වචනයක් තමයි Childhood Trauma කියන්නෙ. ක්ෂතිය හෙවත් Trauma කියන්නෙ අපි ඕනම කෙනෙක්ගෙ ජීවිත කතා ඇතුළෙ තියෙන්න පුළුවන් යමක්. කුඩා දරුවෙක් විදිහට අපි මුහුණදෙන Trauma අපිව තුවාල සහිත වැඩිහිටියො බවට පත් කරනවා.

දරුවෙක් තුළ ක්ෂතිය ( Childhood Trauma) හටගත හැකි ආකාර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් කිහිපයක් අපේ දැනුමට අඳුන ගමු!

 නිරන්තරයෙන්ම දරුවාගේ ජීවිතය තමන්ට වදයක් බව හැඟවෙන වචන, ප්‍රකාශන භාවිතා කිරීමෙන්. 

ඔබ අම්මෙක් තාත්තෙක් විදිහට හෝ ඔබ දරුවෙක්ව සිටියදී ඔබේ අම්මා හෝ තාත්තා හෝ වැඩිහිටියන් නිතර නිතර දරුවෙක්ට මෙන්න මේ වගේ දේවල් කියනවද?

” මොකට ඉපදුණාද මන්දා උඹ?”
“මල කරුමෙකට තමයි අපිට උඹව ලැබුණෙ”
“ඔයා නිසා තමයි අපේ ජීවිත මෙච්චර ආපස්සට ගියේ”
“ඔයා නිසයි මට රස්සාවෙන් අයින් වෙලා ගෙදර ඉන්න වුණේ”
” උඹ නිසයි අපිට මෙහෙම වුණේ”.

මෙන්න මේ වගේ ප්‍රකාශන විසින් පොඩි දරුවෙක් තුළ ඇති කලහැකි බලපෑම ඉතා විශාලයි. තමන්ගෙ ජීවිතය කිසිවෙක්ට වටින්නෙ නැහැ කියලා දැනෙන හැඟීම විසින් අපිව ඉතාම අඳුරු තැන්වලට තල්ලු කරන්න පුළුවන්.

දරුවාට සැම විටම ” අඬන්නෙපා, කතා කරන්නෙපා” යනාදී ලෙස තම හැඟීම් ප්‍රකාශ කිරීමට ඇති ඉඩ ඍජුව හෝ වක්‍රව අහිමිකර දැමීමෙන්

ඔබ පොඩි කාලේ, ඔබ දුකට පත්වුණු ඕනම වෙලාවක හෝ අඬද්දි, ඔබේ දෙමාපියන් ඔබට දුන්නු පළමුවෙනි ප්‍රතිචාරය ” අඬන්නෙපා, අඬන එක නවත්තපන්”
“මොකද ඔය මූණෙ හැටි, හිනාවෙයන්”
“හරි හරි රිදුණා තමයි ඒකට ඔච්චර කියවන්නෙපා” වර්ගයේ ඒවනම් ඔවුන් නොදැනුවත්වම හැඟීම් ප්‍රකාශනයට ඔබ තුළ තිබූ නැඹුරුව සීමා කරලා තියෙනවා. මේකෙම තවත් දිගුවක් තමයි ” කොල්ලො වුණාම අඬන්නෙ නෑ. කෝ කෝ කඳුළු පිහිදගන්න” කියන්නෙත්. දරුවො විදිහට හැඟීම් ප්‍රකාශ කිරීමේ අවස්ථාව නොලැබුණු අය වැඩිහිටියො වුණාම පත්වෙන තත්වය ඔබට හිතාගන්න පුළුවන්ද? හැඟීම් ප්‍රකාශ කිරීම වරදක් හෝ එහෙම කරන්නෙ දුර්වලයො කියලා හිතන අයව ඔබට මුණගැහිලා තියෙනවද?

දරුවාගේ පෞද්ගලික සහ ස්වාධීන අවකාශයට ගරු නොකරන දෙමාපියන් සහ වැඩිහිටියන් නිසාවෙන්  

” අපේ පුතාට මම නැතුව කිසි දෙයක් කරගන්න බැහැ”
“අපේ දුවට දැන් 18යි තාම බස් එකක තනියෙන් ගිහින් නැහැ”
“අපේ බබා කැම්පස් යනවා වුණාට තාම මාව ඕනේ නිදාගන්න ගියාම”
“අපේ පුතා කැමති වෙන ඕනම කෙල්ලෙක්ව මුලින්ම මම ටෙස්ට් කරලා බලනවා අම්මා විදිහට. ප්‍රශ්න අහලා, කෙල්ලව අපේ එක්කෙනාට ගැළපෙනවද බලනවා. එයාට වැඩි තේරුමක් නැහැනේ ඕවා”
“එයාට තේරෙන්නෙ නැහැ ඇඳුම් එක අස් කරගන්න. ඒ නිසා මම කරලා තියනවා”
” පුතා ටොයිලට් එකේ වැඩි වෙලාවක් හිටියත් මමනම් දොරට ගහලා බලනවා”

මෙන්න මේ වාක්‍ය ඔබට ඇහිලා තියෙනවද? මේ හැසිරීම් මඟින් දරුවෙක්ගෙ පෞද්ගලික අවකාශයක් ගොඩනගාගන්න එයාට තියෙන අවස්ථාව අහිමි කරවනවා. ස්වාධීනව වැඩෙන්න හෝ පවතින්න එයාට තියෙන අවස්ථාව උදුරා ගැනීමෙන් අපි එයාව අපි මත යැපෙන කෙනෙක් බවට පත් කරවනවා. ඒ වගේම අපිට උවමනා ආකෘතිය ඇතුළෙ මිස ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ කියලා අපි එයාලට ඒත්තු ගන්වනවා. ඒකෙන් විය හැකි හානිය කොච්චර විශාලද?

තමන්ගේ හැඟීම් පවා අවබෝධ කරගත නොහැකි දෙමාපිය චරිතයක් සමඟ ජීවත් වීමට සිදුවීමෙන්

ඉතා ඉක්මනින් කෝප ගන්න, ඉතාම කුඩා දේවල්වලට කෑ ගහන, බඩු කුඩු කරන, නොකඩවා බනින, සාප කරන, දඬුවමක් විදිහට සති ගණන් කතා නොකර ඉන්න, විහිළුවක් පවා නොතේරෙන, එකට ඉන්න අයට නිකරුණේ බැන වදින යනාදී ලක්ෂණ තියෙන දෙමව්පියන්ව අපි දන්නවා. ඒ වගේ අය එක්ක ජීවත් වෙන්න සිදුවීමෙන්, දරුවා නිතරම දකින්නෙ ‘ අවම වශයෙන් තමන්ගේ හැඟීම් අවබෝධ කරගත නොහැකි අම්මෙක්ව/ තාත්තෙක්ව’.

මේ නිසා දරුවා තුළ ඇතිවෙන ව්‍යාකූලතාවයන් ප්‍රමාණය විශාලයි. තමන්ගේම හැඟීම් අවබෝධ කරගැනීමට දුර්වල වැඩිහිටියෙක්ව දකිමින් උස්මහත් වෙන දරුවෙක්, තමන්ගේ හැඟීම් අවබෝධ කරගත හැකි වැඩිහිටියෙක් වෙයිද ඉබේම?

දරුවාට නිරන්තර අවධානය නොලැබී යාමෙන් සහ දරුවාගේ හඬ ඔබට නොඇසි යාමෙන්

ඔබ නිතර ඔබේ හඬ, ඔබේ ක්‍රියා සහ ඔබේ ලෝකයේ ඉන්න කෙනෙක්නම්, දරුවා ඉල්ලලා හිටින අවධානය දෙන්නෙ නැත්තම්, දරුවා කියන දේවල් ‘ එතරම් ගණන් ගත යුතු දේවල් නෙමෙයි ඕවා’ හැටියටනම් ඔබ දකින්නෙ, ඔබ කරමින් ඉන්නෙ විශාල වරදක්.

දරුවාගේ රූපය කෙරෙහි විශාල අවධානයක් යොමු කරන දෙමාපියන්ගේ හැසිරීමෙන්

ගොඩාක් දෙමාපියන් ඉන්නවා දරුවගෙ රූපය පිළිබඳව අධික අවධානයක් යොමු කරන. තමන්ට උවමනා රූපය පේනතෙක්ම දරුවව හැඩ ගන්වන සහ ඒ හැඩගැන්වීමෙන් එන අලංකාරත්වය විතරක් පසසන. සමහර දෙමාපියන් ඉන්නවා දරුවට ” කෙට්ටු වෙන්නකො, තඩියෙක් වගේ, බලන්නකො ඔයාට වඩා තාත්තයි මමයි තාම හොඳට ඉන්නවා, ඇයි ඔයා මේ කළු වෙලා, සෙල්ලම් කරන්න යන්න එපා කලු වෙනවා එතකොට කැතයිනෙ” වැනි දෑ කියන.

ඔවුන් නොදැනුවත්වම හෝ දැනුවත්වම ‘ මගේ දරුවා මෙන්න මේ තරම් පැහැපත් විය යුතුය, උස් විය යුතුය, කොණ්ඩය මෙලෙස විය යුතුය, ඉඟ සුග මේ අයුරින් තිබිය යුතුය’ කියන බලහත්කාරයට දරුවව තල්ලු කරනවා.  මේකෙන් ඇතිකරන ආත්ම විශ්වාසයේ කඩා වැටීම ඔබ හිතන තරම් පහසුවෙන් පිළිසකර කරන්න බැහැ. කැඩුණු හිත් repair කරන එක පහසු නැහැ.

අපේ දෙමාපියන්ගෙන් අපට ආපු Trauma අපේ දරුවන්ට නොදී ඉන්න අපේ පරම්පරාවට විශාල වෙහෙසක් දරන්න වෙනවා. ඒත් ඒ අවබෝධය සහ වෙහෙස අපිට වඩා ආදරණීය, නිදහස්, ගෞරවණීය පරම්පරාවක් බිහි කරයි. මීට වඩා සතුටෙන් ඉන්න පරම්පරාවක් වෙනුවෙන් මේ කුඩා පාඩම් ඉගෙන ගමු.

ඊළඟ සටහනෙන් Childhood Trauma,වැඩිහිටියෙක්ගෙ සම්බන්ධතාවලට බලපාන හැටි ගැන ටිකක් කතා කරමු.

සුබ දවසක්!

සටහන: ආචාර්ය නිකොල් ලෙපෙරා
අනුවාදය: ෂෙනූ පෙරේරා

Social Sharing
නවතම විශේෂාංග