වැස්සක් පේන්න නෑ ඒත් මාදුරුඔය පිඹුරත්තෑව වාන් දමයි.

වැස්සක් පේන්නවත් නැති කළක ආශ්චර්‍යමත් ලෙස පසුගිය සඳුදා (7) සිට මාදුරුඔය සහ පිඹුරත්තෑව ජලාශ වාන් දමමින් ජනතාව පුදුමයට පත් කරමින් ඇතැයි වාර්තා වෙයි.

කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවලින් පැමිණෙන ජලය වියානා ඇල හරහා මාඳුරුඔය සහ පිඹුරත්තෑව ජලාශවලට ලැබෙන අතර මෙම ජලාශ දෙක වාන් දමනවා යන්නෙහි තේරුම, ඉහත නම් සඳහන් ජලාශද වාන් දමනවා යන්න හෝ ජල විදුලිය සඳහා අසීමිතව ජලය මුදාහරිනවා යන්න යි.

මෙම ජලාශ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව මෙම වාන් දැමීම ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ දකුණු ඉවුරේ මාදුරුඔය, කුඩාඔය වනජීවි රක්ෂිත කොටසේ වැලි කැනීම් කරන ආණ්ඩුවට හිතවත් වැලි ජාවාරම්කරුවන්ගේ උවමනාවට, වැලි ලබාගැනීම සඳහා මෙලෙස ජලය මුදාහැර ඇති බවය. එහෙත් මහවැලියේ බළධාරියෙක් ප්‍රකාශ කළේ විදුලි බල අවශ්‍යතාවය සඳහා මේ දේ සිදුවෙන බවය.

මහවැලි බී කලාපය එක්වරක් අස්වැද්දීම සඳහා මාදුරුඔය ජලාශය තුන්වරක් පිරවිය යුතු බව ජනවහරේ එන කතාවකි. සාමාන්‍යයෙන් මාදුරුඔය සහ පිඹුරත්තෑව ජලාශ වාන් දමන්නේ නොවැම්බර් දෙසැම්බර් කාලවලටය. ඒ ඊසාන දිග මෝසම හොඳටම සක්‍රීයවී කොත්මලේ සිට රණ්ටැඹේ දක්වා ජලාශ වාන් දමන කලටය.

වැස්සක් පේන්නවත් නොමැති මේ කාලයේ මෙලෙස ජල විදුලි බලය නිපදවීම සඳහා මෙම ජලාශවල ජලය අසීමිතව නිසි කළමනාකරණයකින් තොරව භාවිත කිරීම  ඉදියේ දී විශාල අර්බුදයක් නිර්මානය කරනු ඇත.

කේ. සංජීව

Social Sharing
නවතම