රුපියල පා කිරීම බැසිල්-කබ්‍රාල් අවුලේ ප්‍රතිපලයක්ද?

කැබිනට් මණ්ඩලයට නොදන්වා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල පා කිරීමට ගත් තීරණය බැසිල්-කබ්‍රාල් ගැටුමේ ප්‍රථිපලයක් දැයි දේශපාලන විචාරකයෝ සැකපළ කරයි.

විදෙස් ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එවන සෑම ඩොලරයකටම රුපියල් 38ක් වැඩිපුර ලබා දීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සහ මහ බැංකුව විසින් රුපියල පා කිරීමට ගත් තීරණය එකිනෙකට පරස්පර වීම සහ මෙම තීරණයන් දෙක ගැනීමේදී ශ්‍රී ලංකා මහබැංකුව සහ කැබිනට් මණ්ඩලය හෝ මුදල් අමාත්‍යවරයා අතර නිසි සන්නිවේදනයක් සිදුනොවී ඇති බව වාර්තා වෙන අතර එයට හේතුව මෙම ගැටුම විය හැකියැයි එම ආරංචි මාර්ග සැකපළ කරයි.

රුපියල පා කිරීමට මහ බැංකුව පසුගිය 07 වෙනි දා රාත්‍රියේ තීරණය කළ අතර එහි දී ඇමරිකානු ඩොලරය 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව නිවේදනය කෙරුණි. එසේ තිබිය දී විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවන ප්‍රේෂණ සඳහා රුපියල් 38ක් ගෙවීමට කැබිනට්ටුව ඊයේ (8) දින තීරණය කර ඇත.

කෙසේවෙතත් අද (9) දින මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඒ ගැන පහැදිලි කිරීමක් කරන බව ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර ඇත. එමෙන්ම 7 වන දා කැබිනට්ටුව විසින් මෙම තීරණය ගන්නා විට මහ බැංකුව රුපියල පා කිරීම සම්බන්ධයෙන් තීරණය ගෙන නොතිබුණු බවත් ඒ වන විට ඩොලරය රුපියල් 210 නිශ්චිත අගයක තිබූ බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර රුපියල පා කිරීම සඳහා ශ්‍රීලංකා මහබැංකුව ගෙන ඇති තීරණය පිළිබඳව මහ බැංකුව සමග අදහස් දක්වන හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන ප්‍රකාශ කරන්නේ, මෙසේ රුපියල පා කිරීම තුළින් එහි අගය තවත් අඩු මට්ටමකට වැටෙන බවයි. මහ බැංකුවේ මෙම තීරණය නිසා ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය දැනට පවතින මිලට වඩා වැඩි විය හැකි බවත් ඒ අනුව සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 270 ත් 280 ත් අතර ප්‍රමානයකට වැඩි විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම මහ බැංකුව විසින් ගත් මෙම තීරණය නිසා මේ වන විට සංචිත පහත වැටී ඇති බව ප්‍රකාශ කරන ඒ මහතා එම තීරණය වෙළඳපොළේ හැසිරීම් පිළිබඳව අවධානය යොමු නොකර ආර්ථිකය ගැන නොදුනුවත්කමින් ගත් තීරණයක් බවත් ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම