කොළඹ කපුටා සහ කොණ්ඩෙ කැපූ චීනාගේ කතාව

කපිල රන්තිලක හා කැළුම් අමරසිංහ ලියූ ‘චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය’ කෘතිය කියවමින් සිටින කාලයේ ම උත්ප්‍රාසජනක අයුරින් සුනේත්‍රා රාජකරුණානායක ලියා ඇති ‘කොළඹයා සහ ෂැංහයියා’ නවකතාවත්, ඇගේ ම ‘කෘතීම දූපත්’ කෘතියත් කියවන්නට ලැබිණ. උක්ත කෘති ත්‍රිත්වයේ ම අවශෝෂණීය අදහස් පෙරටු කොට ‘කොළඹයා සහ ෂැංහයියා’ කියවීමට උත්සාහ කරමු.

සුනේත්‍රා රාජකරුණානායක විසින් ලියන ලද බොහොමයක් පූර්ව කෘති සේ ම මෙය ද එක හුස්මට කියවාගෙන යා හැකි භාෂාමය හපන්කම්වලින් සරු නවකතාවකි. අලුත් භාෂා ප්‍රයෝග සහ භාෂා ආකෘති සොයා යෑමේ ඕනෑකමක් නො පෙන්වුව ද අනන්‍ය ලක්ෂණ සහිත ස්වතන්ත්‍ර උපමාරූපක සහ සෝපහාසය මේ කෘතියේ ද නො අඩුව දක්නා ලැබේ. චීනයේ ෂැංහයි මහාග්‍රපුරයත් කොළඹ නාගරික සංස්කෘතියේ මෙගා පොලිස් සිහිනයත් අතර හෘදය සාක්ෂියේ කැරලිකාරී පීඩනයකින් සරන මාලින් යං නම් චීන ජාතික එහෙත් චීන බස නො දත් ලාංකිකයා එහි කතානායකයා ය. චීනයේ සිට ලංකාවට පැමිණි කොණ්ඩය බැඳි දත් බඳින චීනුන්ගේ ඊළඟ පරම්පරාවන් නියෝජනය කරන, නිශ්චිත භෞමික වපසරියකට අයත් නො වීමේ අනන්‍යතා අර්බුදයකින් පෙළෙන, චීන සම්භවයකුත් ලාංකික කලවමකුත් සහිත බහුජාතික බහුආගමික පවුල් ගසකට මාලින් අයත් ය.

“මා කුඩා කාලයේ උණ ගැනී ගෙදර සිටින විට අනිවාර්යයෙන් ම ඉල්ලා සිටින්නේ පපාගේ පවුල චීනයෙන් එන විට ගෙන ආ ඡායාරූප අලවා තිබූ ඇල්බමය යි. එහි මුලින් ම තිබුණේ ඉදිරිපස කොණ්ඩය නැතත් පිටුපසින් කොණ්ඩය ගොතාගෙන දිග ලෝගුවක් වැනි ඇඳුමක් ඇඳ සිටින අපේ යේ යේගේ ඡායාරූපයකි. යේ යේ යනු පපාගේ පියා ය.” (කොළඹයා සහ ෂැංහයියා, පිටුව 12)

මාලින්ගේ සීයා කොණ්ඩය බැඳි චීනෙකි. මාලින්ගේ පියා පාරම්පරික චීන රජ පවුලට ආවතේවකම් කිරීමේ පරවේණිගත ආඩම්බරයකින් පෙළුණු, කොළඹ කාක්කන් අතර කරක් ගැසූ පහළ මධ්‍යම පාන්තික චීනෙකි. මාලින්ගේ වැඩිමල් සොයුරෝ දේශපාලනයත් සමාජයත් ජනමාධ්‍යත් අතර දෝලනය වෙමින් කරක් ගසන සවිඥානික ගන්ධබ්බයෝ ය. මාලින් හදිසි අනතුරක් වන් විවාහයක් කරගෙන සිටින්නේ ලංකාවේ ප්‍රබල ඇමතියෙකුගේ දියණියක සමඟ ය. ඔහු නිරන්තරව බිරිඳත් තමාත් අතර වන අන්‍යොන්‍ය විසංවාදය සිතින් ප්‍රශ්න කරයි.

“කුමුදු ද මා මෙන් ම අසරණ ය. ඕ තමා ආදරය කළ මිනිසා කොළඹ හතේ මිනිසෙකු කරන්නට බැරි නිසා යටත් පිරිසෙයින් නුගේගොඩ මිනිසෙකු කරන්නට හෝ තැත් කරන්නී ය. නුගේගොඩයෝ දේශපාලනය ද කලාව ද විරෝධතා ද පිළුණු නො වන ලෙස දිගු කලක් පවත්වාගෙන යාමේ දක්ෂයෝ ය. රූපවාහිනී නාලිකාවලින් ආණ්ඩු කිරීමේ කලාව ද ප්‍රගුණ කළවුන් ය. එහෙත් මා නුගේ පෙනි පෙනී තිබියදීත් ගොඩ නො යා බොරු විරෝධතා දක්වන්නෙකි.” (කොළඹයා සහ ෂැංහයියා, පිටුව 30)

නවකතාවක් තුළ ආකෘතියකට අනුව සන්දර්භය ගොඩනඟන්නේ ද සන්දර්භයෙන් අපේක්ෂිත ආකෘතිය නිතැතින් ම ගොඩනැඟෙන්නට ඉඩ හරින්නේ ද යන මුඛ්‍ය ගැටලුව මතු වන්නේ, කෘතියේ ආරම්භක පරිච්ඡේද දෙකත් අවසාන පරිච්ඡේදයත් උත්තම පුරුෂ කටවහරකට ආසන්න ලේඛන ශෛලියකින් ගොඩනඟන ලේඛිකාව ඒ අතර පරිච්ඡේද තුනක අන්තර්ලේඛනය මාලින් විසින් ලියනු ලබන බව පැවසෙන ප්‍රබන්ධගත නවකතාවකින් සම්පූර්ණ කිරීම හේතුවෙනි. එය කෘතියේ සන්දර්භයෙන් අපේක්ෂිත ආකෘතියක් ම නොව ආකෘතිය තුළට සන්දර්භය බහාලීම සඳහා ලේඛිකාව විසින් සිතාමතා ගන්නා ලද ප්‍රයත්නයක් බව පෙනේ.

චීනයත් මධ්‍යම ආසියාවත් අතර සබඳතා ක්‍රි. පූ. දෙවන සියවස තෙක් ඈතට දිවෙයි. අපරදිග මායිම් ප්‍රාන්ත සමඟ චීනය නිපදවූ සේද සිල්ක් වර්ග බෙදාහදාගැනීම හා රත්රන් ගනුදෙනු කිරීම සමඟ මධ්‍යම ආසියාව තුළ චීන ගවේෂණ බහුල ව සිදු වූ බව පෙනේ. ඈත අතීතයේ පටන් චීන ජාතිකයන් විශාල ප්‍රමාණයක් ලංකාවේ ගැවසුණු බවට ද මූලාශ්‍ර තිබේ. ගම්පොළ කාලයේ ජයබා රජෙකු චීනයට පැහැරගෙන යාමත්, චීන අඩි නමින් ප්‍රචලිත සටන් ක්‍රමයත්, චීන කෑම පිළිබඳ ඉතිහාසයත්, කොණ්ඩෙ බැන්ද චීනා මෝඩයෙකු ලෙස සැලකීමත් ලාංකේය ජන විඥානයට චීනා සම්බන්ධ වන පුරුක් සේ හැඳින්විය හැකි ය. ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයාගේ නියෝගයකට අනුව මැලේසියානු චීන ජාතිකයන් ගාල්ලට ගෙනවුත් ‘චීන කොරටුව’ ඇති කිරීමත්, ත්‍රිකුණාමලයේ චීන වරායත්, කොළඹ නගරය චීනයෙන් ලද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවත්, නෙළුම් පොකුණ රංග ශාලාවත් චීනය පිළිබඳව සුන්දර ලියාපදිංචි සංකේත ලෙස ලාංකිකයා සලකන්නේ ය.

බහුතර සිංහල ජනයා විසින් ශ්‍රී ලංකාවේ පාරම්පරිකව වාසය කරන චීන ජනතාව ‘අනෙකෙකු’ ලෙස සැලකූ බවක් මෑතක් වන තුරු ම සමාජගත ව තිබුණේ නැත. කොළඹ, මරදාන, පාමංකඩ, වැල්ලවත්ත, ඇස්වාට්ටුව, ගම්පහ, බණ්ඩාරවෙල යනාදී නගරවල චීන ජන කණ්ඩායම් දත් බැඳීමත් රෙදි වෙළඳාමත් කර්මාන්ත ලෙස සිදු කරනු අදත් දක්නට ලැබේ. චීන ජාතිකයා ලාංකිකයා සමඟ හරිහරියට සිංහල කතා කළේ ය. ලංකාවේ වාසය කළ බොහෝ චීන ජාතිකයෝ චීන කෑමබීම ලාංකිකයාට හුරු කළ තරමට ම ලාංකේය ආහාර සංස්කෘතියට හුරු වූහ. ලංකාවට පැමිණි චීන ජාතිකයන්ගේ තුන්වන පරම්පරාව චීන භාෂාව දන්නේ නැත. ඒ නිසා ඔවුහු වර්තමාන චීනයේ ආර්ථික දේශපාලන ප්‍රවාහය හමුවේ අතරමං වූ ක්ෂුද්‍ර ජීවීහු වෙති.

“බිම්මහලේ අවන්හල් යායක් තිබූ නමුදු ඉංග්‍රීසියෙන් ආහාර හඳුන්වා ඇති තැනක් සොයමින් එහාට මෙහාට කැරකෙන්නට සිදු විය. චීන නො දන්නා බව හඟවන්නට කැමැත්තක් තිබුණේ ද නැත. මා තුළ සිටියේ සිංහලයෙකු වුවත් ඒ මොහොතේ මට උවමනා වූයේ චීන මිනිසෙකු වීමේ ආඩම්බරය විඳින්නට ය.” (කොළඹයා සහ ෂැංහයියා, පිටුව 11)

“මම දන්න විදිහට තාත්තා ලංකාවට ඇවිත් තියෙන්නෙ දෙවන ලෝක යුද්දෙ තිබුණ කාලෙදි. ඒ කාලේ චීනය කියන්නෙ අද වාගේ දියුණු රටක් නොවෙයි. මුදල් අහේනියක් තිබිල තියනවා. හරියට කන්න බොන්න තිබිලත් නැහැ. වසංගත උවදුරත් හරියට තිබුණලු. ඒ ඔක්කොටම වැඩිය චීන තරුණයන්ට යුද්දෙට සම්බන්ධ වීම අනිවාර්ය කරලා තිබුණලු. මේ හේතු නිසා තාත්තාට චීනය එපා වෙලා ඔළුව හැරුණ අතේ යන්න හිතුණලු. අන්තිමට නැවක නැඟලා තාත්තා ලංකාවට ආවලු.”

“එහෙම විශේෂ දෙයක් නම් කියල නැහැ. ඒත් මට හිතෙනවා චීනයෙන් ආපු තාත්තා ලංකාවේ බින්න බැස්සේ චීනෙට වඩා මෙහෙ හොඳ නිසා කියලා.”

“මේ රටේ මිනිස්සු ආදරෙන් තාත්තාව පිළිගත්තේ නැතිනම්, ආදරය කළේ නැතිනම්, අගනුවර හදවත වගේ තැනක ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් වෙයිද?”

(මරදානේ වාසය කරන ලැන් ටින් හැන් මහතාගේ සම්මුඛ සාකච්ඡාව අන්තර්ජාලයෙනි.)

දෙමළා සහ මුසල්මානුවා අනෙකා ලෙස සලකන සිංහල ජනතාව සිංගප්පූරුවේ දේශපාලනික හා ආර්ථික ශක්තිය රැඳී ඇත්තේ චීන ජාතිකයන් අත බවත් නැඟෙනහිර ආසියාවේ ආර්ථික සංවර්ධනයට චීන ව්‍යාපාරික ප්‍රජාවේ දායකත්වය අත්‍යවශ්‍ය බවත් තවමත් වටහාගෙන නැත. ලාංකිකයා වටහා නොගත් යථාර්ථය ජපානයත් අමෙරිකාවත් අසූව දශකය මුලදී වටහාගත්තේ ය. එහෙත් දැන් චීන ආක්‍රමණයක් සිදු වෙතැයි ලාංකිකයෝ බිය වෙමින් සිටිති. අධිරාජ්‍යවාදය එංගලන්ත හා අමෙරිකානු සුදු අධිරාජ්‍යයාට සීමා කිරීමට මෙතෙක් වෙහෙසගත් ලාංකීය මතවාදයට සුදුපාට සුද්දාගේ අධිරාජ්‍යවාදය වෙනුවට කහපාට චීනාගේ අධිරාජ්‍යවාදය පිළිබඳව අනාගතයේ දී සාකච්ඡා කිරීමට සිදුවනු නියත ය.

චීනයේ බෞද්ධයන් සිටින නිසා චීන ආක්‍රමණය සංස්කෘතික අනුකම්පාවක් ලෙස භාරගැනීමට ජාතිකවාදීහු සූදානම් ය. චීනය සමාජවාදී නිසා චීනය සමඟ සමාජවාදී පුරුෂාර්ථ ගනුදෙනු කිරීමේ අර්බුදයක් වාමාංශිකයන්ට ද නැත. අමෙරිකාවෙන් ණය ලබාගැනීමට වඩා චීනයෙන් ණය ලබාගැනීමට ලාංකිකයා කැමති ය. එහෙත් චීන බඩු බාල බඩු ය. ලාංකිකයා ඉන්දියාවට අකැමැති ය. ඉන්දියාවෙන් ගෙනා බුදුදහමට කැමති ය. ඉන්දියානුවාට අකැමැති ය. හින්දි චිත්‍රපටවලට කැමති ය. දෙමළාට අකැමැති ය. සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට කැමති ය. එංගලන්තයේ සුද්දාට අකැමැති ය. ප්‍රජාතන්ත්‍රවාදයට කැමති ය. ඒ නිසා ලාංකිකයා පාවිච්චි කරන එහෙත් සුද්දා හැදූ ලැප්ටොප් බෑගයේ අදත් තිබෙන්නේ ලැප්ටොප් එකක් නොව අරක්කු බාගයක් හෝ බත් පාර්සලයකි. පාර්ලිමේන්තු ආකෘතියක් තිබුණ ද එහි ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භයක් නැත. අයිවර් ජෙනිංස් සෑදූ විශ්වවිද්‍යාල ආකෘතියක් ඇතත් එහි ශාස්ත්‍රීය සංවාද දුලබ ය. මේ අනන්‍යතා අර්බුදය චීනා සම්බන්ධව වෙනස් ය. නූතන පරිභෝජනවාදී ආර්ථිකයට අයත් චීනෙකු නොවන අතීතකාමී ලාංකිකයෙකු වන මාලින්ගෙන් හෙළිවන්නේ එකී අර්බුදයේ ගන්ධබ්බ ප්‍රකාශනයයි.

“මට ෂැංහයි කෙරෙහි ආදරයක් ඇති වන්නට ගත්තේ ඔවුන් අපට හොඳින් සංග්‍රහ සත්කාර කළ නිසා නොව බටහිර රටවලට හොඳ තරගයක් දීමේ උත්සාහය කෙරෙහි ය. ඒ උත්සාහයේ බොහෝ අඩුපාඩු තිබෙනවා විය යුතු ය. ඒ අඩුපාඩු කාලයත් සමඟ සමනය වන්නට හෝ පුපුරා යන්නට හෝ ඉඩ තිබේ. එහෙත් මා චීන මිනිසකු බව ආඩම්බරයෙන් පැවසීමේ සතුට ද දැනෙන්නට විය.” (කොළඹයා සහ ෂැංහයියා, පිටුව 65)

“අප චීනය ලෝක ප්‍රාග්ධන සංචිතයෙහි හිමිකරුවා වීම විග්‍රහ කරගත යුතුව ඇත්තේ ඉහත යථාර්ථය මත චීනය ද ස්ථානගත කිරීමෙනි. දැන් චීනය සමාජවාදී ද ධනවාදී ද සාකච්ඡා කිරීම යනු මීට වසර 30කට වඩා පැරණි සංවාදයකි. එවැනි සංවාදයකින් අපගේ බුද්ධියට කිසිවක් එකතු නොවනු ඇත. චීනය ලෝක ආර්ථිකයේ වැදගත් ම කොටස්කරුවෙකි. චීන ආර්ථිකය හා ලෝකය අතර ඇති සම්බන්ධය අතිප්‍රබල ය. උදාහරණයක් ලෙස ඔබගේ නිවසෙහි ඔබ විසින් පාවිච්චියට ගනු ලබන උපකරණ අතුරින් චීනයේ නිෂ්පාදිතයන් කොපමණ ඇත්දැයි සොයා බලන්න. කුඩා දරුවාගේ සෙල්ලම් භාණ්ඩවල සිට තාක්ෂණයෙන් අතිනවීන නිෂ්පාදන දක්වා ම චීනය විසින් නිපදවා ලොව පුරා බෙදාහැර තිබේ. ආසියාවේ පමණක් නොව මැද පෙරදිග, අප්‍රිකාව, අමෙරිකාව, යුරෝපය ආදී ලෝකයේ කොතැනක වුව ද මෙම තත්ත්වය සමාන වේ.” (චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය, පිටුව 71)

ලාංකේය නූතන දේශපාලකයා නූතන නැත. එහෙයින් නූතන චීන ව්‍යාපාරික ප්‍රජාවේ ක්ෂිතිජයේ ඇති ඉලක්කය මිරිඟුවක් සේ දකිනවා විනා එහි යථාර්ථය ලාංකේය දේශපාලන මර්මස්ථානවලට වැටහෙන්නේ නැත. මාලින්ගේ ඇමති මාමණ්ඩිය ඔහු විසින් හැඳින්වෙන්නේ ‘කුමුදුගේ පියාණන්වහන්සේ’ ලෙසින් වීම උත්ප්‍රාසයකි. මාමණ්ඩිය විසින් මාලින්ගේ පියා චීන ව්‍යාපාරික ප්‍රජාවගේ අතරමැදි ගොදුර ලෙස පාවිච්චි කිරීම ලාංකේය දේශපාලනයේ ප්‍රාථමික නිරුවත පිළිබඳ කැඩපත් ප්‍රකාශනයකි. ඔහු මාලින් සිය බෑනා ලෙස පිළිගන්නේ ද ඒ මොහොතේ ය. ඒ මෙකී අවස්ථාවේ දී ඔහු සිය ප්‍රයෝජනය පිණිස භාවිත කළ යුතු නිසා ය.

“මාලින් මං මේ වැදගත් වැඩකට කතා කරන්නෙ. චීන බිස්නස්කාරයෙකුටයි තව චයිනීස් කට්ටිය හතරපස් දෙනෙකුටයි මං ඩිනර් එකකට ආරාධනා කරා. මගේ බෑනා චයිනීස් කිව්වාම ඒගොල්ලො හරියට සතුටු වුණා. ඉතිං මේ ඩිනර් එකට එන්න. ඔයාගෙ පපාවත් එක්කගෙන එන්න. චීන කතා කරන කෙනෙක් හිටියම සතුටු වෙයිනෙ.”

මාලින්ගේ අනන්‍යතා අර්බුදය සහ අතුරුදන් වූ හැඳුනුම්පත සොයාගැනීමේ ගෝලීය ගවේෂණය ඵල රහිත වේ. ගෝලීයකරණය වූ ලෝකය භ්‍රමණය වන ආර්ථික දිශානතිය චීනය විසින් තීරණය කරන බව මාලින්ට වැටහුණත් ෂැංහයි නගරයේ කුරාකුහුඹු මිනිසා එහි ආර්ථික දේශපාලන ඛේදවාචකයේ ගොදුරකි. හෘදය සාක්ෂියේ බලපෑම නිසා ලාංකේය කලවම් පුරුෂාර්ථවල ආත්මීයව එල්බගෙන සිටින මාලින් අවම වශයෙන් විසිවසරකට එහා පරිභෝජනවාදී ලෝකය තබා මේ මොහොතේ පෘථිවි භ්‍රමණය ආර්ථිකමය ඇසකින් විග්‍රහ කරගැනීමට පවා සමත් වන්නේ ආයාසයෙනි. ඔහු මාතෘ භූමිය අහිමි චරිතයකි. ඔහු වටා එතෙන බොහෝ චරිත ද ආදරය අහිමි මිනිස් කොට්ඨාසයකි. ආගමික, ජාතික හා භාෂාමය විවිධතා කලවම් වුණු තවමත් නිශ්චිත අනන්‍යතාවක් සොයන ඔවුන් වටා නවකතාව ගෙතෙයි.

සුනේත්‍රා රාජකරුණානායක අපූර්ව ප්‍රතිභා ඇති අතිදක්ෂ ලියන්නියකි. සිය අමුද්‍රව්‍ය ගබඩාව තුළ තිබූ නැවුම් ප්‍රස්තුත කෙතරම් පරිණත ලෙස ඇය ප්‍රතිනිර්මාණය කළා ද යන්නට ඇගේ පූර්ව කෘති සාක්ෂි දරයි. ඈ දැන් දැන් වේගයෙන් ලියන්නියක බවට පත්ව සිටින්නේ ඇගේ අමුද්‍රව්‍ය ගබඩාව සිඳී ගොසින් ද යන්නක් ඉඟි කරමින් සේ ය. නව්‍ය අද්දැකීම් ප්‍රතිනිෂ්පාදනය කොට කලාකෘති ලෙස පාඨක ලෝකය ආහ්ලාදයට පත් කළ ඇය දේශපාලන සංසිද්ධි කලාකෘති ලෙස ප්‍රකාශයට පත් කිරීමේ වෑයමක් දරන්නේ ද යන්න සැක සිතෙන්නේ කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය හොල්මන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ‘කෘතීම දූපත්’ ලිවීමත්, කොළඹ මෙගාපොලිස් දේශපාලන යෝජනාව මනස කැළඹීමේ ප්‍රතිඵලයක් ලෙස ‘කොළඹයා සහ ෂැංහයියා’ ලිවීමත් නිසා ය. අතීතයේ, වර්තමානයේ හෝ අනාගතයේ යන කාලත්‍රයට අයත් සමාජ, දේශපාලන, ආර්ථික සංසිද්ධි උත්තර සංවාදයක් ලෙස කලාකෘති මත සුපුෂ්පිත කිරීමේ සාහිත්‍යමය දෝෂයක් නැත. එහෙත් ඒ සඳහා සුවිසල් දේශපාලන හැදෑරීමක් ද දෘෂ්ටිමය ඥාන භාවිතයක් ද අත්‍යවශ්‍ය ය.

චීනය සහ ලංකාව අතර අනාගතයේ දී සිදුවන නො වැළක්විය හැකි අන්තර්ගැටුම පූර්ව පරීක්ෂණයක් ලෙස කියවීමට යථෝක්ත කෘති තුන ම වැදගත් ය. ඒ සඳහා චීන පෙනුමැති, එහෙත් චීනෙකු නොවන, උතුරු චීනයට සමීප දූපත් 1968කින් සම්බන්ධිත වියට්නාමයේ හෝචිමිංගේ ප්‍රකාශයක් කැඳවමි. වියට්නාමයේ හෝචිමිං හා කාම්බෝජයේ පොල්පොට් සමකාලීනයෝ ය. හෝචිමිං ප්‍රංශයෙන් උගත් අතර පොල්පොට් උගත්තේ රුසියාවෙනි. හෝචිමිං අදත් වියට්නාමයේ වීරයා ය. පොල්පොට් දුෂ්ටයා ය. සාහිත්‍ය කෘතියක් වීරයන්ගේ කියවීමක් ලෙස අනාගතයේ ඉතිරි විය යුතු ය.

“චීන්නු මෙහෙ ආපු අවසන් වතාවේ අවුරුදු 1000ක් හිටියා. ප්‍රංශකාරයෝ කොහොමටත් විදේශිකයෝ. ඒ නිසා ම ඔවුන් දුර්වලයි. අධිරාජ්‍යවාදය මියැදෙමින් තියෙන්නෙ. ආසියාව තුළ සුද්දාගේ ගමන අහවරයි. නමුත් දැන් චීන්නු මෙහෙ නැවතුණොත් ආයෙ කවදාවත් යන්නේ නෑ. ඒ හින්දා මුළු ජීවිත කාලයක් චීන්නුන්ගේ අශූචි කනවට වඩා අවුරුදු පහක් ප්‍රංශකාරයන්ගේ ජරාව පුසුඹ කරන එක මට හොඳයි.” (හෝචිමිං – 1946)

-චතුපමා අබේවික්‍රම-

Social Sharing
නවතම විශේෂාංග