තේ දීලා තෙල් ගන්න ගිවිසුමක්!

මෙරට තේ සමග ඉරානයෙන් තෙල් හොවමාරු කරගැනීමේ අවබෝධතා ගිවිසුමකට දෙරට අමාත්‍යවරුන් අත්සන් තබා ඇතැයි ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත පතල් සහ වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය Alireza Paymanpak මහත්වරුන් අතර මේ ගිවිසුම් අත්සන් කිරීම සිදුවී ඇති අතර මෙමගින් ලංකා තේ වැඩි වශයෙන් ඉරානයට අපනයනය කිරීමට හැකියාව ලැබෙන අතර එම ආදායමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉරාන තෙල් සමාගමට දිගුකාලීනව ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් 250,925,169 ක ණය පියවීම සඳහා යාන්ත්‍රණයක් සැකසීමට යෝජනාවී ඇත.

2016 වසර වනවිට ඉරාන තේ වෙළඳපොළෙන් 47% ක් පමණ ලංකා තේ හිමිකරගෙන සිටි අතර එම අගය 2020 වසර වනවිට සියයට 25 දක්වා පහත වැටී ඇත. ගෙවීමේ ගැටලු, ඉරාන රියාල් ක්ෂයවීම වැනි ගැටලු ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත.

2012 නොවැම්බර් මස ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට විරුද්ධව සම්බාධක පැනවීම මෙම තේ අපනයන ක්‍රියාවලියට මෙන්ම ඉන්ධන ආනයනයටද කෙළින්ම බලපානු ලැබීය. මේ සියල්ල සලකා බලමින් සහ වර්තමාන විදෙස් විනිමය අර්බූදය නිසා ප්‍රශ්නයට තුඩුදී තිබෙන ඉන්ධන සැපයුම නිසි ලෙස පවත්වාගෙන යාම මෙම ගිවිසුමේ අරමුණ බව දැනගන්නට ඇත.

Social Sharing
නවතම