සිව් වසරක් ඉක්ම ගිය තැන | ඉන්දික!

ඕමාර් ඛයියාම්ගේ කවියක් වැරදි පූර්වාදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක් දුටුවෙමි.

ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය. ඔහු රුබ්බයියාට් ගැන දැන සිටියාක් පමණක් නොව ඛයියාම් යනු කූඩාරම් තනන්නා බවද පැවසුවේය.  පසුකාලීනව තක්ෂිලාව පෙනෙන මායිමේ තානායම් පොළට වී බිඳුණු ප්‍රේමයක් වෙනුවෙන් හැඬූ අයුරු කා හටත් මතක ඇතැයි සිතමි. නුහුරු නුපුරුදු රහස එලෙස මධුවිතෙන් පොඟවා මිරිකා හළේයැයි කරුණාසේන ජයලත් ට කවුරුන් හෝ බැණ වැදුණාදැයි නොදනිමි. අමතක කළ යුතු නැත. සුගත් අදටත් ජීවමානය.

උසස් පෙළ කාලයේ අප පාසලේ දුම්රිය හා බස් රථ සංගමයේ නියෝජිතයා  වූයේ ශාන් පරාක්‍රම නම් අයියා කෙනෙකි. ඔහු වැඩි කතා බහක් නැති කෙනෙක් බවත් කිසිවක් බැරෑරුම් ලෙස නොගන්නා කෙනෙක් බවත් තවමත් මතකය. අවසානයේ දී ශාන් පරාක්‍රම උසස් පෙළ විභාගයට මාස ගණනක් තිබියදී හදිසි අනතුරකින් මිය ගියේ මරදාන දුම්රියපොළෙහි ධාවනය වන දුම්රියකින්, වෙනත් නවතා තිබූ දුම්රියකට මාරු වන්නට යාමේදීය. ඔහු අප පාසලේ දුම්රිය හා බස් රථ සංගමයේ ශිෂ්‍ය නියෝජිතයා බව ඒ දුම්රිය දැන නොසිටින්නට ඇත. දැන සිටියා නම් කුමකින් කුමක් වන්නේදැයි අනුමාන කළ නොහැකිය. කුඩා කාලයේ අපගේ දුම්රිය හා බස් රථ සංගමයේ නියෝජිතයා මරදානේ දී දුම්රියකට හසුව මිය ගිය බව හොඳින්ම දැන සිටින අප අදටත් මරදාන දුම්රියපොළ මග නොහැර දුම්රියේම ගමන් කරමු.

ඛයියාම් වරෙක මෙසේ ලීවේය.

‘පුරවනු දිවි කුසලානය නැවත ද

කාලය පා යට ගලනුය නොනැවත

මළගිය ඊයේ, නූපන් හෙට දින

ගැන නොතැවී දිවි විඳිනුය අද දින’

ඔමාර් ඛයියාම්ට බොහෝ කාලයකට පසු කාංචනා අමිලානි කරුණාමුනි නම් කිවිඳියක සයිබරයේ තම මුහුණුපොත මත මෙසේ ලීවා ය. ඒ බොහෝ හදවත් තුළ මහා හිස්තැනක් ඉතිරි කර සැණින් අතුරුදන් වී ගිය , සහෘද කවියෙකුගේ වියෝව නිමිත්තෙනි.

පියාපත් බර වැඩිව

පියාසැරිය නතර කළ

මෘදු පියාපත් හිමි පක්ෂිය;

කියව;

අහස නොතරම්ද

පියාසැරියම ගිනියම්ද

යනු මිසක ඉනු කියා කිසිවකු

නතර නොකළෙහිද

 

දැවීමක ගිනි පුලිඟුවක

දිලිසි දිලිසී මතකය පවතීය

ඒත් ඒ අළුය; නියතිය ය

යළි පියාසර නොකිරීමය

එපමණය

සුබ ගමන් ඉන්දික •

ඉන්දික මතක සැමරුම් රෑනක පොදු සාධකයක් ව හිඳ ඒ සියලුම රැහැන් අතැර හුදෙකලා ගමනක් යන්නට ගියේ ය. අදටත් ඔහු මීදුමක සැඟවුණු රූපයක් මෙන් වරින් වර මතකයේ ඇඳී සිත පාරවන්නේ ය.

සුගත් වීරසේකර වරෙක මෙසේ පැවසුවේය.

‘අපිටත් පුළුවන් වුණා නම් තක්ෂිලාව වගේ වෙනස් නොවී ඉන්න…

ඇයි දම්මි, අපි තක්ෂිලාවට ගියේ.. ? ඇයි අපි එතැනදී මුණගැහුණේ ?’

බොහෝ දෙනෙකු පෙළෙන්නේ ඛයියාම් විසින් උත්කර්ෂයට නැගූ මධු බඳුන හිස් කර දැමීමේ පවසින් ම පමණක් නොව , එදා සුගත් ඇසූ පැණයට අදටත් පිළිතුරක් නොමැති වීමේ වේදනාවෙන් ද බව වටහා ගන්නා තුරුම ඔබට ඛයියාම්ට වෛර කළ හැකිය. නමුත් මම හෙටත් සුගත්ට ප්‍රේම කරමි.

සුබ ගමන් ඉන්දික !

– සහන් කසීර වික්‍රමසිංහ –

Social Sharing
නවතම විශේෂාංග