මේ ආණ්ඩුව අවුරුදු දෙකට ලබාගත් ණය ප්‍රමාණය රු.බි 5300

වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව ඉතිහාසයේ විශාලම ණය මුදල ලබාගෙන ඇත. ඊයේ දින ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු වන රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ යහපාලන රජය රුපියල් බිලියන 4433ක ණය  ලබාගෙන ඇතත් කිසිවක් කරනැති බවයි. නමුත් ඔහු නොදන්නා කාරණාව වන්නේ කිසිදු වැඩක් කර නොමැති 2020,2021 අවුරුදු තුල පවතින ආණ්ඩුව ලබාගත් සහ ඇපවූ (පබ්ලික් ඇන්ඩ් ගැරන්ටීඩ්) ණය ප්‍රමාණය රුපියල් බිලියන 5300 තරම් ඉහළ අගයක් ගත බවයි. එනම් ඒ පස් අවුරුද්දට වඩා මේ දෑවුරුද්දට සෞභාග්‍යයේ ආණ්ඩුව ගෙන ඇති ණය ප්‍රමාණය වැඩි බවය.

2022 වසර සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත්කර ඇති අයවැය මගින්ද පෙන්නුම් කර ඇති ආකාරයට ආසන්න වශයෙන් රුපියල් බිලියන 3300ක් ණයට ගැනිමය. එයින් ණය ආපසු ගෙවීමට වැයකරන මුදල රුපියල් බිලියන 2700 ක් නොහොත් 85% කි. යහපාලන ආණ්ඩුව පිළිබඳව කතාකරන මේ ආණ්ඩුව පසුගිය වසර දෙකට එකදු වැදගත් මහපරිමාණ ව්‍යාපෘතියක් හෝ ආරම්භ කර නොමැති බව ප්‍රකාශ  කළ යුතුය.

අප සියළු දෙනාම මේ ගෙවමින් සිටින්නේ මහා සංවර්ධනයකැයි මවා පෙන්වන ලද 2005-15 යුගයේ නාස්තිකාර හා අදූරදර්ශී ආර්ථික ව්‍යාජ සංවර්ධන මායාවේ ප්‍රතිඵලය.

අප සියලු දෙනාම තේරුම් ගත යුතු සත්‍යයක් වන්නේ උද්වේගකර හා ජනප්‍රිය ආර්ථික පුරසාරම්වලට දැන් තවදුරටත් ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳිය නොහැකි බවය. එසේම අර්බුදය කෙටි කාලීනව විසඳා ගැනීමට විනා දීර්ඝ කාලීන වශයෙන් ගත් කල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන මගින් ඉදිරිපත් කරන සුපුරුදු විසඳුම්ද යහපත් නැත. කොටින්ම පැරණි ප්‍රතිකර්ම අදට වලංගු නැත.

මේ රට නැවත ධනය උපදවන රටක් බවට පත් කිරීමෙන් තොරව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමක් පිළිබඳව සිතන්නටවත් නොහැකිය.

පළමුවෙන්ම මේ ණය උගුලෙන් අප ගැලවීමට අවශ්‍ය බව සත්‍යයකි. ඒ සඳහා අපේ ණය ගෙවීම් ප්‍රතිසංවිධානය කර ගත යුතුය.එහිදී මූලික කොන්දේසියක් වන්නේ ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය පද්ධතියට විශ්වාසය තැබීමට හැකි ආර්ථික ක්‍රියාකාරිකයකු බවට අපේ රට පත් කිරීමයි. දූෂිත හා අකාර්යක්ෂම පාලනය වෙනුවට විනිවිද පෙනෙන කාර්යක්ෂම පාලනයක් පිහිටුවිය යුතුමය.

නමුත් මේ ප්‍රශ්නයට දිගුකල් පවත්නා විසඳුමක් ලබා ගැනීමට නම් අපි සැබෑ ආර්ථික දියුණුවක් ලබා ගත යුතුමය. ඒ සඳහා පියවර කිහිපයක් අත්‍යවශ්‍යය. පළමුව රටේ ආර්ථිකයේ මර්මස්ථාන  මෙහෙයවීම දක්ෂ ප්‍රායෝගික පුද්ගලයන්ට භාරදිය යුුතුයි.

දෙවෙනුව ආර්ථික ප්‍රමුඛතා හද්‍රනාගත යුතුය. අනවශ්‍ය ජේත්තුකාර වියදම් නතර කර දැමිය යුතුය. මහාපරිමාණ වියදම්, තමන්ට හිතෙන හිතෙන පරිදි නොව රටේ ජාතික භෞතික සැළැස්ම අනුව සිදුවිය යුතුය.

තුනවෙනුව කෘෂිකර්ම හා වැවිලි ක්ෂෙත්‍ර මුලුමණින්ම ප්‍රතිසංවිධානය විය යුතුය. ඵලදායිතාව ඉහල නැංවීම එහි ප්‍රධාන ඉලක්කය විය යුතුය.

සිව්වෙනුව අප වැඩි වශයෙන් විශ්වාසය තැබිය යුත්තේ තාක්ෂණය හා දැණුම පදනම් කරගත් නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනැගීම කෙ⁣රෙහිය. ලෝක ආර්ථිකය තුළ අපේ ඉඩ සලකුණු කර ගත හැක්කේ එමගින්ම පමණකි.

වැරදි ආර්ථික තීරණ නිසා මේ අඳුරු, අභාග්‍යසම්පන්න ලිඳට වැටී සිටින අප ලිං කටින්ම ගොඩ ආ යුතු බව ඇත්තය. නමුත් ලිං මැඩියන් නොවී අපි ලෝකය දැකිය යුතු වෙමු. ජාතියක් ලෙස අප අද මුහුණ දී සිටින අභියෝගය වන්නේ යළිත් මෙවැනි අඳුරු ආර්ථික අගාධයකට නොවැටෙන පරිද්දෙන් සබුද්ධික ලෙස මේ රටේ ආර්ථිකය මෙහෙය වීම ය.

පාඨලී චම්පික රණවක

Social Sharing
නවතම