රිෂාඩ් දෙමළ තරුණයන්ට නිදහස ඉල්ලයි!

“කොටි යළි නැගිටිනවා කියලා පහුගිය මාස දෙක ඇතුලත විතරක් ත්‍රස්ත පනත යටතේ දෙමළ තරුණයෝ 40 ක් 45 ක් පමණ අත් අඩංගුවට අරන් සිරගත කර තියෙනවා,” එම හෙළිදරව්ව කර ඇත්තේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසිනි.

LTTE චෝදනාවට ගොදුරු වී සිටින එම තරුණයන් 2009 යුද්ධය අවසන්වන විට වයස අවුරුදු දහයේ පසුවූ කුඩා දරුවන් කුඩා දරුවන් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

අධිකරණ අමාත්‍යංශ වැය ශිර්ෂ විවාදයට දෙසැම්බර් 09 වැනිදා එක් වෙමින් බදියුදීන් මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, තමන් සිරගතව සිටී කාලයේදී කතා කිරීමට ලැබුණු දැනට වයස අවුරුදු 20 -22 පසු වන එම දෙමළ තරුණයන් නිදහස් කරන ලෙසයි.

“2009 යුද්දය අවසන් වෙන කොට කොටි සටන්කාමීන් 12000 ක් පමණ හමුදාවට බාර වුණා. ඒ ගොල්ලන්ම පුනරුත්ථාපනය යටතේ සමාජයට එකතු කර ගත්තා, ඒත් පොඩි පොඩි ප්‍රශ්න නිසා ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගත් දෙමළ තරුණයන් කිසිම නඩුවක් ගොනු කරන්නේ නැතුව දිගු කලක් සිරගත තිබෙනවා, ඔවුන් ගැනත් ආණ්ඩුව අවධානය යොමු කරන්න ඕනෑ,” යැයි ද සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකයා පැවසීය.

නාමල් රාජපක්‍ෂ ඇමතිවරයාද මෑත කාලයේදී මෙම සිරකරුවන් ගැන කතා කළත් කිසිඳු සාධාරණයක් ඔවුන්ට ඉටුවී නැති බව ද ඔහු පෙන්වා දී තිබේ.

“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් තරුණයන් 4045 ක් පමණ අත් අඩංගුවට අරන් තියෙනවා, ඒ අය අතරින්, එක් දවසක් සහරාන්ගේ පංතියකට සහභාගිවුණා කියලා තරුණයන් 250 ක් විතර දැන් අවුරුදු දෙකක් තිස්සේ සිරගත කර ඉන්නවා,“යැයි ද බදියුදීන් මන්ත්‍රීවරයා හෙළිදරව් කළේය.

මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මෙම මුස්ලිම් තරුණයන් ඇප කොන්දේසි මත හෝ  මුදා හරින ලෙසයි.

Social Sharing
නවතම