විජය ඝාතනය : ටිකක් කල්පනා කර බැලීම

vimukthi

වෛද්‍ය විමුක්ති කුමාරණතුංග නමැති තරුණ පශු වෛද්‍යවරයා සමග මීට ටික කලකට පෙර බීබීසිය රුපවාහිනි වාර්තා වැඩ සටහනක් කළේ ය.

ඒ ඔහු විශේෂඥතාවය දරණ කටුස්සන් ප්‍රභේදයක් ගැන ය. එම කටුස්සන් සුරතලුන් ලෙස බහුල ව බ්‍රිතාන්‍යයේ හදා වඩා ගන්නා බව එම වැඩ සටහනේ කියැවිණ. මේ  කටුසු ප්‍රභේදය ගෘහස්ත පරිසරයක පරිනාමය වන විට කාලානුරූපී ව ඔවුන්ගේ සැකිල්ලේ අස්ථි දුර්වල වී ඇති බව කුමාරණතුංග වෛද්‍යවරයා විශ්ලේෂණය කළේ ඉතා විචක්ෂණ ආකාරය ට ය. ඒ කරුණු ඔහු ගෙනහැර දැක්වුයේ තමන්ගේ පර්යේෂණවල ප්‍රතිඵල ලෙසිණ. ස්වභාවික නොවන ගෘහස්ත පරිසරයක කටුස්සනට සැපයෙන ආහාරවල යකඩ හා කැල්සියම් හීනතාව නිසා කාලයක් තිස්සේ මේ තත්ත්වය උදාවී ඇති බව ඔහු පැවසුයේ අදාළ විෂය ගැන තමා සතු දැනුමේ හා අත්දැකීමේ ගැඹුර පැහැදිලි ව විදහා පාමිණි. මෙලෙස වෛද්‍ය කුමාරණතුංග ඉතා චතුර ලෙස නමුත් නිහතමානී ව කතා කරන විට, ඔහු අභිමුඛව සිටි තරුණ බීබීසී මාධ්‍යවේදිනිය දෑස් දල්වා, මුඛය ද අඩක් විවර වී, වශීකෘත වුවා මෙන් සිටියේ විෂය දැනුම ඇසෙන නිසා ම නොවන බව නරඹන අපට පැහැදිලි විය. විමුක්ති කුමාරණතුංග වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම  මනමාල ය. ආකර්ශණශීලී ය.

විමුක්තිගේ උපන් රට වන ලංකාවේ, සිහින කුමරා ලෙස දශක ගණනාවක ජනතාව අතර අසීමිත ආදරයට පාත්‍ර වී සිටියේ ඔහුගේ පියා බව බීබීසී මාධවේදීනිය සමහරවිට නොදැන සිටියා හැක. විජය කුමාරණතුංග නම් වූ ඔහු තරම් කඩවසම් හා කැරිස්මතික නළුවෙකු මේ වනතුරු ලංකාවේ බිහි වී නැති බව කීම අතිශයෝක්තියක් නොවේ. ඔහුගේ රූප ප්‍රභාව හා නළු ප්‍රතිභාව පසු කලක දී දේශපාලන තිරය ද දිග් විජය කළේ ය. සැලකිය යුතු තරමේ දේශපාලන අත්දැකීමක් හෝ පසුබිමක් නොතිබුණ ද කෙටි කලකින් ඔහු දේශපාලනයේ නැගී එන සම්මානය — එවැන්නක් තිබුණේ නම් —  ගත හැකි මට්ටමකට පැමිණියේ ය. මුළුමනින් ම නොවුනත් ඔහුගේ දේශපාලනයේ තිබූ වාමාංශික නැඹුරුව හා පැරැණි වාමාංශික පක්ෂ ඔහු වටා එක් රොක් වීම විශේෂත්වයකි. එපමණක් නොවේ, විජයගේ දේශපාලන ඌරුව, සිංහල-බෞද්ධ විලංගුවෙන් මිදී, අනෙකුත් ජනවාර්ගික කොටස් සමග ද අත් වැල් බැඳ ගති. විශේෂයෙන් වාමාංශික නැඹුරුවක තිබූ දමිල විමුක්තිකාමී දේශපාලන කණ්ඩායම් සමග විජයගේ දේශපාලනය සමීප ව වෙළී තිබිණ. විජයගේ මේ දේශපාලන විභවතාවයෙන් මුලින් ම අනාරක්ෂිත වුණේ ජයවර්ධන ජනපති ය. නැක්සලයිට්කරුවෙකු ලෙස හංවඩු ගසා, විජය සිරගත කළේ ඔහු වටා ගොඩ නැගෙන නව දේශපාලන ජවය හා බලවේගය අඩපණ කිරීමට ය. ඉන් පසු ව විජයගේ දේශපාලන විභවතාවය ගැන තර්ජනයක් ව ඉන් අනාරක්ෂිතභාවයට පත් වුනේ ජවිපෙ ය. ඒ වනවිට ජවිපෙ ඉන්දියානු විරෝධී හා දැඩි ජාතිවාදී  ගොහොරුවක කරවටක් ගිලා බැස සිටියා පමණක නොව දරුණු ප්‍රචණ්ඩත්වයක් ද මුදා හරිමින් ජීවිත හා දේපල විනාශයක නිරත වෙමින් සිටිය හ. මෙහි ප්‍රතිඵලයක ලෙස ඝාතනය කෙරුණේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් ලෙස හඳුනාගත් එජාප සමාජිකයින් පමණක් නොවේ. වාමාංශික, ප්‍රගතිශීලී හා වෘත්තීය සමිති නායකයින් හා ක්‍රියාධරයින් ද සිය ගණනින් ජවිපෙ විසින් ඝාතනය විය. විජය කුමාරණතුංග ද 1988 පෙබරවාරි දහසය වැනි දින මුහුණට වෙඩි වැදීමෙන් ඝාතනය වූයේ යට කී අනාරක්ෂිතභාවයේ මූලයෙනි.

මේ වන විට ජවිපෙ ‘සිරිමත් මගේ සකි’ ගීතයේ ප්‍රජාතාන්ත්‍රික අනුවාදයට අනුව දියවන්නාවේ පතුලට ම කිමිද ඇත. දියවන්නාව ආශ්‍රිත දියබුං ගැසීම, තිත්තයන් ඇල්ලීම, කිඹුලන් නැරඹීම  ඇතුළු විවිධ ජල ක්‍රීඩා ඉසව් මැනැවින් ප්‍රගුණ කර ඇත. 1994 දී එක් අසුනකින්  පාර්ලිමේන්තුව නියෝජනය කළ ජවිපෙ, 2004 දී ආසන 39ක් දිනා ගන්න තරම් ප්‍රගතියක පෙන්වී ය. එම වසරේ ජවිපෙ ආණ්ඩු පක්ෂයේ කොටසක ද වී ඇමතිකම් කිහිපයක් ද දැරී ය. මේ වන විට ජවිපෙ නිල හා නොනිල වශයෙන් ප්‍රධාන දේශපාලන කඳවුරු සියල්ල සමග (චන්ද්‍රිකා, මහින්ද, ෆොන්සේකා, රනිල්, මෛත්‍රිපාල) සන්ධාන ගත වෙන්නට තරම් නම්‍යශීලීතත්වයක් පෙන්වී ය. මෙහිලා ජවිපෙ දෙවැනි වන්නේ චම්පික රණවකට පමණි. ජාතිවාදී හා ප්‍රචණ්ඩකාරී අන්තයක සිට ‘කාගෙත් සිත් ගත්’ තත්ත්වයේ පක්ෂ දේශපාලන සත්වයෙකු බවට සුමට ව පරිනාමය වීමට ජවිපෙට ඇති හැකියාව අවතක්සේරු කළ නොහේ.

මෙවන් පරිපූර්ණ විශෝධනයකට හා සාර්ථක පුනරුත්ථාපනයකට භාජනය වූ බාලවයස්කාර අපරාධකරුවෙකු අතින් අතපසුවීමකින් හෝ නොමග යාමකින් සිදු වූ කොකා ගැස්සවීමක් නිසා අවාසනාවන්ත ලෙස හෝ කර්මය නිසා මිය ගිය විජය කුමාරණතුංග අතීතය අප තව දුරටත් ඇවිස්සිය යුතු ද ? මෙය ‘ටිකක් කල්පනා කොරල බලන්න’  අවැසි ම දෙයක් ද ? එසේත් නැති නම් කල්පනා නොකර ම නොබලා සිටිය යුතු දෙයක් ද ?

කෙතරම් විශාදිත, අමිහිරි හා දුගඳ අතීතයක් තිබුණ ද ඒ වරද කළ අය ද එහි වින්දිතයින් ද එහි ඇළී ගැළී නොහිඳ, යම් කලක දී ඉන් ඔබ්බට යා යුතු බව පිළිගත් සම්ප්‍රදායකි. ‘මූවින්-ඕන්’ කියා ඉංග්‍රීසියෙන් කියන්නේ මේ සම්ප්‍රදායට ය. විජය ඝාතනය වුණේ මීට වසර තිස් තුනකට පෙර ය. මා කුඩා කල අප ඇති දැඩි කළ හුරතල් බල්ලා සාලයේ පැහැරූ විට ඌට කුරිරු දඬුවමක් දීම මා මතක් කරන්නේ දැඩි අපහසුතාවයකිණි. අප නිවසේ සිටි වැඩිහිටියෙකු බල්ලා බලෙන් ඇද විත්, ඒ වසුරු ගොඩේ උගේ හොම්බ උළමින් “ආයේ කරනව ද තෝ ඒ ආයේ කරනව ද ?”  කියමින් කෝටුවකින් වැරෙන් පහර දීමයි. මගේ බාල වියේ මේ ක්ෂිතිමය අත්දැකීම, දශක තුනකුත් ගෙවුණු පසුත් ජවිපෙ හා විජයගේ මරණයට සමපාත කළ යුතු ද කියා මම ටිකක් කල්පනා කරමි.

ඇරත්, දැන් ජවිපෙ වටා ඇට වී ඇති අලුත් පිහාටු, අවකාස, අයිතිවාසි ස්ත්‍රීන් වැනි මුණත්තහඩු සංවිධාන (ෆ්‍රන්ට්ස්) වටා ලාලසිත ව එක් රොක් වී සිටින්නෝ සාපේක්ෂ ව තරුණ පිරිසක් ය. සමහර විට විජය ඝාතනය වන විට ඔවුන් ඉපදීවත් නොතිබුනා විය හැක. එසේත් නොමැති නම් එකල ඔවුන් කුඩා බබුන් ව සිටියා විය හැක.   මේ තරුණ ඩිමොග්‍රෆියට විජයාතීතය ද ඒ හා බැඳුනු ප්‍රචණ්ඩත්වය ද විසම්මුතිකයින් මෙලොවින් තුරන් කිරීම ද අනදාල ය.

මරණයෙන් සය වසරකට පසු තම මව රටේ ජනපති වුණ ද, විජයගේ දරුවන් දෙදෙන වයස දහසය දහඅට වෙත් ම බ්‍රිතාන්‍යට ගොස් නව දිවියක ඇරැඹු හ. ලාංකීය දේශපාලන ප්‍රවේණිය හා උරුමය වැඩියෙන් ම ඇත්තේ මේ දරුවන් දෙදෙනාට බව අවිවාදිත ය. එහෙත් ඔවුන් දෙදෙනා ම පියාගේ අකල් ඝාතනය හා මවගේ ඝාතන තැත වැනි අතිශය ක්ෂිතිමය අත්දැකීම් අතීතයට හැර පියා, තම ජීවිත ‘මූව්-ඕන්’කරණයට භාජනය කරගත්තෝ ලංකාවේ දේශපාලනය ගැන අබැටක උනන්දුවක නොපාමිණි. එහෙත්, බීබීසියේ කී පරිදි කටුස්සන් ගැන ලාලසිත විමුක්ති පුතු පසු ගිය සතියේ පහත පෝස්ටුව තම සමාජ මාධ්‍ය ගිණුමේ, තම කඩවසම් පියාගේ පොටෝ කිහිපයක් ද සමග පළ කළේ කිම ද යන්න මම ටිකක් නොව ගොඩක් කල්පනා කරමි : “අද තාත්තාගේ උපන් දිනය. හිටියා නම් 76ක්. තාත්තා අහිමි කළ මිනිසුන්ට ඇත්තේ කුමන සැනසීමක් ද ?

උදන් ප්‍රනාන්දු

අනිද්දා පුවත්පතට ලියු ලිපියකි.

Social Sharing

Related posts