“අපිත් ණයයි. රටත් ණයයි” ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යසනය ගැන කතා

Microfinance Disaster in sri lanka

‘ අපිත් ණයයි රටත් ණයයි ‘  අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ ප්‍රවුර්තිමය කෙටි වාර්තා චිත්‍රපටකි. එය ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය පිළිබඳව අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ කෙටි වාර්තා චිත්‍රපට අතර තෙවැන්නයි. එම කෙටි චිත්‍රපටය තුළ මතුකරන අදහස් ලිපියක් ලෙස මෙලෙස පළකරමු.

100% සිට 220% දක්වා ණය පොලී අය කරනවා

ප්‍රමාණවත් ඇපකර ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැතිකම හේතුවෙන් විධිමත් බැංකු හරහා තම මූල්‍ය පහසුකම සපයාගත නොහැකි දිළිඳු පුද්ගලයින් වෙත ණය පහසුකම් ඉදිරි කිරීමේ පහසුකම් සහ වෙනත් මූල්‍යමය පහසුකම් සැලසීම ක්ෂුද්‍ර මූල්‍ය, මයික්‍රෝ ෆිනෑන්ස් ලෙස CIAP එනම් දිළින්දන් හට සහයෝගීතාවය දැක්වීමේ උපදේශාත්මක සමූහය විසින් නිර්වචනය කරලා තියෙනවා.

රජයේ මගින් ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා 35% ක උපරිම පොලී අනුපාතිකයක් නියම කර ඇතත් ඇතැම් ණයහිමියන් විසින් සිය අභිමතය පරිදි 100% සිට 220% දක්වා ණය පොලී අය කිරීම සිදුකරනු ලබයි. මේ වන විට ග්‍රාමීය ප්‍රදේශවල මෙන්ම නාගරික ප්‍රදේශවල බොහෝ පිරිසක් මෙලෙස ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලින් ලබා ගත් ණය මුදල් නැවත ගෙවීමට නොහැකි වීම තුළින් දැඩි අපහසුතාවයන්ට පත් වී තිබෙනවා.

– විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී –

නිර්වචනය වැරදියට භාවිතා කර තිබෙනවා

ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න තිබෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය යන නිර්වචනය බොහෝ පුද්ගලයින් විසින් වැරදියට භාවිතා කර තිබෙනවා. ඔවුන් එය විශාල වශයෙන් වෙනස් කරමින් ඊට ක්ෂුද්‍ර මූල්‍ය යැයි පවසනවා. ඒ නිසා අපට ක්ෂුද්‍රමූල්‍ය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කරගැනීමට අවශ්‍ය වෙනවා.

– ක්ෂුද්‍ර මුල්‍ය ණය ක්‍රමයේ නිර්මාතෘ මොහොමඩ් යූනුස් –

අපි අලුත් පනතක් ගේනවා

ක්ෂුද්‍ර මූල්‍ය ණය අරගෙන 93%ක්ම ණය උගුලේ හිර වෙලා ඉන්නේ කාන්තාවෝ. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි අමාත්‍යාංශය හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ, විශේෂයෙන්ම ගරු අගමැතිතුමා අපට ලබා දීපු උපදෙස් අනුව  2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත සංශෝධනය කරන්න. ක්ෂුද්‍ර මූල්‍ය ණය සපයන ආයතනවලටත් ලබාගන්නා කණ්ඩායම් වලටත් සහනයක් ලබා දෙන්න හෝ නියාමනයක් ලබාදෙන්න කටයුතු කරලා නැහැ මේ පනත. දැන් මේ පනත ක්‍රියාත්මක උනාට පස්සේ ආයතන හතරක් පමණයි මේ පනත යටතේ ලියාපදිංචි වෙලා තියෙන්නෙ.

අපි මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියෝජනය කරන නියෝජිතයන් මුණගැහිලා මේ ප්‍රශ්නය පිළිබඳව කතා කරලා තියෙනවා. 360% කට ආසන්න පොලී අනුපාතයක් ඔවුන් අය කරනවා. ඒ නිසා කිසිසේත්ම මේ ණය අරගෙන ගෙවා ගෙන යෑමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන්ව මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරලා තියෙනවා. මේ වෙනකොට පනත නැවත සංශෝධනය කරන්න නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා.

පහසුවෙන් තමන්ගේ ක්ෂණික මුදල් අවශ්‍යතා සපුරාගන්න අපේ ප්‍රජා මූල සංවිධාන භාවිතා කරන්න අපි කටයුතු කරනවා. ඒ අනුව අලුත් ක්‍රමවේදයක් හැටියට ගරු අගමැතිතුමාගේ උපදෙස් පරිදි අපි ප්‍රජාමූල සංවිධානවලට ඉතාමත් දක්ෂ කණ්ඩායමක් ඉන්න ප්‍රජාමූල සංවිධානවලට ආරම්භයේ ලක්ෂ තුනක මුදලක් ලබාදීල ඔවුනට කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීලා ඒ අවශ්‍ය වන කුඩා ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ගරු අගමැතිතුමා උපදෙස් ලබා තියලා තියනවා සියළුම රාජ්‍ය බැංකු පද්ධතිවලට ඒවගේම සමුර්ධි බැංකු පද්ධතියට මේ ගම්වලට ගිහිල්ලා ජනතාවට වඩාත් සමීප වෙලා මේ අර්බුදයෙන් ඔවුන් මුදවා ගන්න කියලා.

– ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේ දී –

විශාල අවිධිමත් වෙළඳපලක් තියෙනවා

බැංකුවක් ණය දෙන්නෙ බැංකුවට ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදලින්. මහජන බැංකුව ගත්තොත් ලංකාවේ මිලියන 22ක් වූ ජනතාවගෙන් මිලියන 14ක අපේ ගනුදෙනුකරුවෝ ඉන්නවා. ඒ අයට ණය දෙන්න බෑ ඇපකර නැතුව. ඒත් මේකේ පොලිය කීයද කියල තීරණය කරන්නෙ ණය දෙන කෙනා. උදේ සල්ලි දෙනවා හවසට ගිහිල්ලා එකතු කරගන්නවා.  ව්‍යාපාරය කරන්න යන ව්‍යසායකයා ඒ ව්‍යාපාරය තුළ ජීවත් වෙනවා. තමන්ට තේරෙන විදිහට මෙතැනින් කොතැනට යන්නේ. ක්ෂුද්‍ර මූල්‍ය ණය කිව්වහම මම හිතන්නේ විශාල අවිධිමත් වෙළඳපලක් තියෙනවා. ණය දෙන පුද්ගලයා පොඩ්ඩක් හිතන්න මේ රට ගැන.

නිල නොවන මට්ටමේ නියාමනයක් නැති උන ගමන් වෙන්නේ මොකද ඒ ණය සපයන පුද්ගලයාට හැකියාවක් තියෙනවා ඔවුන්ට ඒ ණය වෙනුවෙන් අවශ්‍ය රිටර්න් එක එහෙම නැත්නම් ඒකට අවශ්‍ය ඉන්ටරෙස්ට් එක නැත්නම් අපි සිංහලෙන් කියනවා පොලිය තීරණය කරන්න. පොලිය කීයද කියල තීරණය කරන්නෙ ණය දෙන කෙනා. ඒකම මේ ණය ඉතාම සූක්ෂම ක්‍රම විදිහට තමයි මේවා ඒ ජනතාව අතරට යන්නේ. මොකද හේතුව දැන් බැංකුවක් උනාම මාසයක් ඇතුලත වෙන්න පුළුවන් ඒ පොලිය ගන්නේ. නමුත් මේ වගේ ඒවා සමහරවිට දිනපතා ගන්නවා. උදේට සල්ලි දෙනවා හවසට ගිහිල්ලා එකතු කරගන්නවා. හැබැයි එතනදි සමහර වෙලාවට ඒ උදේ දෙන ගානට 5%ක් වෙන්න පුළුවන් දවසට එකතු කරගන්නේ. එතකොට එහෙම ගියොත් මම හිතන්නේ මාසිකව ගත්තොත්, හිතන්නේ දරාගන්න බැරි ප්‍රමාණය පොලී ප්‍රතිශතයක්.

– මහජන බැංකුවේ සභාපති  සුජීව රාජපක්ෂ –

මේක වැරදි බෙහෙතක්

මයික්‍රෝ ෆයිනෑස් ගැන කියනවා නම් වෛද්‍ය විද්‍යාවේ භාෂාවෙන් කිව්වොත් යම්කිසි රෝගයකට දීපු බෙහෙතක් වැරදිලා හැදුන තව ලෙඩක්, ඒ විදිහට තමයි මම මයික්‍රෝ ෆයිනෑස් සංකල්පය දකින්නේ. මයික්‍රෝ ෆයිනෑස් දැන් රෝගයක් බවට පත් වෙලා තියෙන්නේ ප්‍රශ්නයේ ප්‍රභවයට කිසිම ප්‍රතිචාරයක් දීපු නැති නිසා. ප්‍රශ්නයේ ප්‍රභවය මයික්‍රෝ ෆයිනෑස් නෙවෙයි මම හිතන හැටියට. මයික්‍රෝ ෆයිනෑස් කේෂ්ත්‍රයට අදාළ ප්‍රශ්න බොහෝවිට කුටුම්භ ආර්ථිකයට සම්බන්ධ කරල කතා කලාට මෙය ඉතා විශාල අර්බුදයෙන් පුංචි කෑල්ලක් විතරයි. අපේ ආර්ථිකය ගෙවීම් ශේෂය සහ වෙළඳ ශේෂය හිඟයක් තියෙනවා. අපේ අපනයනයට වඩා ආනයන ප්‍රමාණය දෙගුණයක්. අපේ මුළු ආදායම ආනයන සඳහා ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි විදේශ විනිමය අර්බුදයකට දැනට මුහුණ දෙමින් සිටිනවා. ආර්ථිකය තුළ ප්‍රාග්ධනය සම්පාදනය වීම හා ඒකරාශී වීම ප්‍රමාණවත් තරමකට නෙමෙයි සිද්ධ වෙන්නේ. මේ නිසා අපේ ප්‍රාග්ධන ආයෝජනය 30%ක ප්‍රමාණයක පවතිනවා. ආර්ථික විද්‍යාඥයින් කියන හැටියට 7% ආර්ථික වර්ධනයක් දකින්න නම් අවම වශයෙන් අපි ප්‍රාග්ධන ආයෝජනය 40%ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕන. එතන අපට තියෙන ප්‍රාග්ධන හිඟයක් තියෙනවා. ඉතිරිකිරීම රටක් වශයෙන්, 1978 ඉඳලම 22% -25% ක් අතර තමයි තිබුනේ. මේක ප්‍රමාණවත් නැහැ. චීනය වගේ රටක් දිහා බලපුවහම ඉතිරි කිරීම 70%ක් විතර තියෙනවා. අපේ රටේ සහ ජනතාවගේ අධි පරිභෝජනය නිසා ඉතිරි කිරීමත් අපේ වැඩි කරගන්න අමාරුයි. ඉතිරි කිරීම වැඩි වෙන්නැති කොට ප්‍රාග්ධන ආනයනයට මේක බාධාවක්.

ප්‍රාග්ධන ආයෝජන FDI කියලා අපි මේකට කියනවා. වර්තමානයේ අපේ රට තුළට ගලා එන විදේශ විනිමය, ප්‍රාග්ධන ආයෝජන ගලා ඒම වෙනුවට සිද්ධ වන්නේ රට තුළ තියෙන ප්‍රාග්ධන ආයෝජන ආපසු රටින් පිටතට ගලා යෑම. ඉතින් ඒවට විවිධ හේතුන් තියෙනවා. ඒවා දිගට විග්‍රහ කරන්න මම යන්නේ නැහැ. අපිට එතනත් තියෙන්නෙ ආයෙ විදේශ ප්‍රාග්ධන ආයෝජන අර්බුදයක්. අපිට නිදහස ලැබෙන කොට ශ්‍රී ලංකා මුදලින් ඩොලර් එකක් රුපියල් හතරක් විතර තමා වුනේ. 1978 වෙද්දි ඒක රුපියල් 8.84 ඉහලට ගිහිල්ලා තියෙනවා. දැන් ඒක කීයද? ඩොලර් එකක් රුපියල් 176ක්. වත්මන් ආණ්ඩු කාලය තුළ ඒක රුපියල් 130 ඉඳලා රුපියල් 178 දක්වා වැඩිවෙලා තියෙනවා. දේශීය නිෂ්පාදනය ඉතාමත් උග්‍ර විදියට බිඳ වැටිලා තියෙනවා. ඵලදායිතාව එසේමයි. මේ සාධක 7 හමුවේ අපි සතුව තියෙන එකම විකල්පය ණය මත යැපීම. ණය විතරයි. අපේ පරිභෝජනයට සහ සංවර්ධනයට සඳහා වූ ආයෝජනයට අවශ්‍ය සියලුම මුදල් ලබාගන්නේ අපි ණය මාර්ගයෙන්. රටක් වශයෙන් සහ කුටුම්භ වශයෙන් දෙකම කරන්නේ එකම දෙය. මෙතෙක් අපි ලබාගෙන ඇති ණය ප්‍රමාණය විදේශ ණය ඩොලර් බිලියන 53. දේශීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන එකොළහක්. දැන් ණය වාරිකය ආපසු ගෙවීම සඳහා තව තවත් ණය ගැනීම සිදුවෙලා තියෙනවා. ඒකට තමයි අපි ඩෙත් ට්‍රැප් එක කියලා කියන්නේ.

– ආචාර්‍ය වගීෂා ගුණසේකර විවුර්ත විශ්ව විද්‍යාලය | 2019 කොළඹදී පවත්වනු ලැබූ දේශනයක් අනුසාරයෙනි –

ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමය ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 37කින් පසුගිය ජූලි මාසය වනවිට ලබාගත් වාර්තාවන්ට අනුව මිලියන 2.8 මේ ක්‍රමයට ණය ලබාගෙන තිබෙනවා. ඉන් මිලියන 2.4 ක්ම කාන්තාවන්. ඔවුන් අදාළ ආයතනවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ප්‍රමාණයේ මුළු වටිනාකම බිලියන 94 ක්.

 – සිරස නිව්ස් ෆර්ස්ට්-

Social Sharing

Related posts