Media වල ප්‍රාදේශිය මාධ්‍යවේදියාගේ ඉරණම!

media

ජනමාධ්‍ය අතර සුවිශේෂි චරිතය වන්නේ ප්‍රාදේශිය මාධ්‍යවේදියාය. මාධ්‍ය ආයතනයක කොඳු නාරටිය කිවහොත් වරදක් නැත.

නමුත් මේ කොඳු නාරටිය වැනි ප්‍රාදේශිය මාධ්‍යවේදියා නැතහොත් ප්‍රාදේශිය වාර්තාකරුවාට ආයතනයෙන් නිසි සැලකිල්ලක් දක්වන්නේ නැත. ගෞරවයක් දක්වන්නේ නැත. ලබා දෙන පුවත් වලට නිසි ගෙවීමක් ලැබෙන්නේ නැත.

එහෙත් ඔවුන් මාධ්‍ය උණ වලින් පෙලෙන බැවින් දිගින් දිගටම පත්තර වලට, චැනල් වලට පුවත් සපයයි. ඇතමුන් මඟ හැලී යන්නේ ප්‍රවෘත්තිය යවා ගැනීමටවත් මුදල් නොමැති නිසාය.

ප්‍රාදේශිය වාර්තාකරුවන්ට ඇතැම් මාධ්‍ය ආයතන වලින් පත් වීම් ලිපියක් ලබා දුන්නද බොහෝ ආයතන වලින් ලැබෙන්නේ නැත. එමෙන්ම මාසික වැටුපක් නැත. වැටුප් සටහනක් නැත. ජිවිත රක්ෂණයක් නැත. එහෙත් ආයතනයේ රුචි අරුචිකම් පිරිමසා දිය යුතුය.

ඇතැම් ආයතන වල ඉහළ නිලධාරීන්ට සන්තෝෂම් ලබා දිය යුතුය. නමුත් ගමේ සිට කොළඹ කන්තෝරුවට එන මේ ප්‍රාදේශිය මාධ්‍යවේදියාට එක වතුර පොදක් ලබා දීමට වත්මන් මාධ්‍ය ආයතන අපොහොසත් වී ඇත.  ප්‍රාදේශිය වාර්තාකරුටද මාණ්ඩලික වාර්තාකරුවන් මෙන් සලකන එකම මාධ්‍ය ආයතනයක් ලෙස මම දුටුවේ ලක්බිම පුවත්පත් ආයතනය පමණි.

එදා වව්නියාවේ සිට එන සනත් ප්‍රියන්තගේ සිට මාතර සිට එන ජයතිස්ස තෙන්නකෝන් දක්වාම සෑම ප්‍රාදේශිය වාර්තාකරුවෙකුටම සමානව සැලකූ ආයතනයක් ලෙස ලක්බිම පුවත්පත් ආයතනය හැඳින්විය හැකිය. එක බත් පත කා එක වතුර බෝතලය බිවු ඔවුන්ට ආයේ වෙනත් කිසිවක් අවැසි නොවුණි.

වර්තමානයේ මේ ප්‍රාදේශිය වාර්තාකරුවන් ගිය විට ඔවුන්ව තබන්නේ එළිපත්තේය. මාණ්ඩලික වාර්තාකරුවන් ඉදිරියේ මොවුන් කුහුඹුවන් සේ කොන් වේ. මාධ්‍ය ආයතනයක පුවිශේෂිම පුරවැසියා ප්‍රාදේශිය වාර්තාකරු බව ඔවුන් අගයන්නේ නැත. ඊට මැලි වන්නේ තමන්ගේ තත්ත්වය පහල බසිනු ඇතැයි සිතාය.

ප්‍රාදේශිය වාර්තාකරුවෙකුගේ වෙහෙස, හැඟීම දන්නේ ඒ්තැන සිට ඉහළට ගිය අයෙකු පමණි. එසේ නොමැතිව කොළඹ සිට එක පාරටම ඉහළ තනතුරක් දරන කිසිවෙකුට මේ වාර්තාකරුවෙකුගේ හැඟීමක් දැනෙන්නේ නැත. අද බොහෝ මාධ්‍ය ආයතන වල කඩා වැටීමට මුලික හේතුව වන්නේ මෙයය.

මුදල් අමාත්‍යාංශයේ තොරතුරු වලට අනුව 2019 වසර වන විට ලංකාවේ පුවත්පත් 81 ක් වැසී ගොස් ඇත. මේ වන විට එය අසු පහ පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි මා සිතමි.

මේ හදිසියේම ප්‍රාදේශිය වාර්තාකරුවන් ගැන මට ලිවිමට පාදක වුයේ අද ( 16) උදෑසන මා මිතුරු මාධ්‍යවේදී ජනක බලල්ල තබා තිබු සටහනක් නිසාය.

පහළින් පළ වෙන්නේ එම සටහනය.

අපි නොදන්න MEDIA – (සටහන 01)

———————————-

ප්‍රාදේශිය වාර්තාකරුවෝ කවුරුන්ද?

කෝවිඩ් ව්‍යාප්තිය කොළඹ ටිකෙන් ටික වැඩි වෙද්දි මම හෙමින්ම කොළඹින් ගමට ආවේ තියෙන රෝගත් එක්ක මැරෙන්න තියෙන පොඩි බයකුත් එක්කම තමයි…

ඒ අතරේ ගෙදර ඉඳන් Online වැඩ කළත් ටිකක් එළියට බැහැලා වැඩ කරන්න නැති වුණාම කෑවේ නෑ වගේ…

ඔය අතරෙයි ගමේ ඉන්න ”රිපෝටර් මිතුරෝ” දෙන්නෙක් ඔළුවට දැම්මේ ”චැනල් එකක වැඩ කරමු” කියල.

”නිවුස්” හොයාගන්න රට වටේ ඉන්න බොහෝ ප්‍රාදේශිය වර්තාකරුවෝ අතරේ ලොකු පොරයක් තියෙනවානේ. ඒක දැන් රහසක් නෙමෙයි. හැබැයි මේ පොර පිටිය හදන්නේ කොළඹ කන්තෝරුවලින්ම තමයි කියලා ජනතාව දන්නේ නෑ. කොළඹ කන්තෝරුවල ඉන්න පිරිසට ඕනැ වෙන්නේ  ‘කරකෙන් හෝ කෙමනෙන්’ News එක ගෙන්වා ගන්න විතරක් නිසා කිසිම ”ප්‍රමිතියක්” නැතිව වාර්තාකරුවෝ පත්කරගැනීමෙන් තමයි මේ ගැටුම් නිර්මාණය වෙලා තියෙන්නේ.

මේ දේවල් දන්න නිසාම මම ඒ ගැන වැඩි කැමැත්තක් නොදැක්වුවත්, ගෙදරට වෙලා කොටු වෙන්න තියෙන අකමැත්ත නිසා ”TV දෙරණ” NEWS එකේ ඉන්න පරණ මිතුරෙක්ට කතා කරලා එහෙට නිවුස් දාන්න අවස්ථාවක් ඉල්ලුවා. එක් චැනල් එකකට ප්‍රාදේශිය වාර්තාකරුවෝ දෙතුන් සියයක් ඉන්නා බව දන්න නිසාත්, එක ප්‍රවෘත්තියකට ගෙවන්නේ සොච්චම් මුදලක් බව දන්න නිසාත්, ඒ මත යැපීමේ බලාපොරොත්තුවක් මට නැති බව මම මිතුරට කිව්වා. දවස් කීපයකින් BioData එකක්, හැඳුනුම්පත් කොපියක්, පදිංචි සහතිකයක් එහෙමත් මගෙන් ඉල්ලගෙන එයා නිවුස් දාන්න FTP Folder එකක් හදලා, චැනල් එක Brand වෙන්න එයාලා දෙන මයික් ලෝගෝ පෙට්ටියකුත් මට දුන්නා.

ගමේ ඉන්න ”රිපෝටර් මිතුරෝ” දෙන්නට තියෙන සම්බන්ධකම් නිසා ඒ අයට ලැබෙන නිවුස් ටික මමත් කොළඹට යැව්වා. ඔය විදිහට පහුගිය මාර්තු ඉඳන් ජූලි මාසෙ වෙනතුරුම නිවුස් ටිකක් යැව්වා. හැබැයි ඇතැම් චැනල් අවුරුදු ගණන්, මාස ගණන් Reporter’s Payments නොගෙව්වට ඒ දැම්ම නිවුස්වලට පොඩි පොඩි Payment කිහිපයකුත් ඒ මාස කීපයට මට දාලා තිබුණා.

වැඩ කරගෙන යද්දි ”රිපෝටර්” පොරපිටිය රත්වුණා. මිතුරන් හතුරන් වෙන්න පටන් ගත්තා. පත්තරකාරයෙක් වුණු මට මේ ”රිපෝටර් පොරපිටිය” ට අකමැති බව කොළඹ චැනල් එකේ ඉන්න මගේ මිතුරට කිව්වා. මම වැඩේ අතෑරියා… .

”අතෑරියා” කියන්නේ Media අතෑරියා කියලා එහෙම නෙමෙයි ඕං.

මේ අතරේ අද (09/16) පාන්තර 01.13ට මම දැක්කා Whatsapp එකට Massage එකක් ඇවිත් තිබුණා සේවය අවසන් කළ බව දැනුම් දෙනවා කියලා දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ යුවරාජ් අත්සත් කරපු ලිපියක්. ඒ ලිපියේ පිටපතුත් ගමේ ආයතන කිහිපයකට යොමු කරලා තිබුණා.

පුදුමේ කියන්නේ ඒ ලිපියෙනුයි මම දන්නේ මම 2021 මාර්තු මාසේ (දිනයක් සඳහන් කර නෑ) ඉඳලා තාවකාලික පදනම යටතේ ”අද දෙරණ නිදහස් ප්‍රාදේශිය මාධ්‍යවේදියකු” ලෙස ඒ අය මම පත්කරගෙන ඉඳලා තිබිලා තියෙනවා කියලත්…

මේ තමයි අපේ රටේ බොහෝ ”රිපෝටර්”ලගේ, එහෙමත් නැත්නම් ප්‍රාදේශිය වාර්තාකරුවන්ගේ ඇත්තම තත්ත්වය.

අපි රටේ තොටේ විත්තියක් දැනගන්න TV එක ඉස්සරහට වෙලා හිටියට ඒ බලන නිවුස් ටික හොයන්නෙ රට වටේ ඉන්න ප්‍රාදේශිය වාර්තාකරුවො.

මේ අය කොළඹ තියෙන මාධ්‍ය ආයතනවල ඉන්න බොහෝ අය කියන්නෙ ”කොරාලා” කියලයි. පොඩි සමච්චලේකුත් එක්ක එහෙම කිව්වට ඒ කියන්නේ වාර්තාකරු (correspondent) කියලම තමයි. ඒ අයට මාධ්‍යවේදියා (Journalist) කියනවටත් කොළඹ මාධ්‍ය ප්‍රධාන කාර්යාලවල ඉන්න බොහෝ අය කැමැති නෑ. ඒ අකමැත්කතට සාධාරණ හේතු නැතුවමත් නෙමෙයි. ඒක වෙනම කතාවක්. හැබැයි අපි පත්තරයක වුණත් රූපවාහිනියක වුණත් බලන දකින ප්‍රවෘත්තිවලින් වැඩි කොටසක් ආවරණය කරන්නේ මේ කියන වාර්තාකරුවොයි. ඒ ගැන තර්කයක් නෑ.

තමුන් ප්‍රවෘත්ති සපයන ආයතනයෙන් ඒ සඳහා ලැබුණු පත්වීම් ලිපියක් නෑ. පඩි වාර්ථාවක් ගන්න බෑ. අවුරුදු ගානක් වැඩ කළත් එක තත්ත්පරයෙන් වැඩ නැවැත්තුවම, වඉත් කළාම ඒවට විරුද්ධව පියවර ගන්න අවශ්‍ය නීති ප්‍රතිපාදන සැකසිලා නෑ. හැඳුනුම්පතක් නෑ. ප්‍රවෘත්ති ආවරණයකදි පහරදීමක් වුණොත්, කැමරා උපකරණ කැඩුවොත් වන්දියක්, රක්ෂණාවරණයක් නෑ. ප්‍රවෘත්ති ආවරණ කටයුත්තක් වෙනුවෙන් ඇතිවන ගැටුමක් නිසා අධිකරණයට ගියොත් නීතීඥ ගාස්තු ගෙවන්නේ නෑ. වැඩ කරන ආයතනයේ ඉන්න නිලධාරීන් ටික දන්නේ නෑ. ඒ අයගේ තනතුරු දන්නේ නෑ. මැරුණොත් අඩුම තරමින් බැනරයක් මල්වඩමක් හෝ ලැබෙයි ද විශ්වාසයක් නෑ…

ඒත් ගමේ ඉන්න ඉහළම පුරවැසියගෙ ඉඳන් පහළම පුරවැසිය වෙනතුරු හැමෝගෙන ප්‍රශ්න ගැන බලන්නේ මේ අය. දූෂණයක් මංකොල්ලයක් වුණාම, අසාධාරණයක් අයුක්තියක් වුණාම, දුකකදි කරදරයදකි කථා කරන්නේ මේ අයට. බණට, තොවිළෙට, කථා කරන්නෙත් මේ අයට. මැති ඇතැතිවරු, ඉහළ රාජ්‍ය නිලධාරීන් ළඟින් තියාගෙන ඉන්නෙත් මේ අය.

හැබැයි හැමෝගෙන අයිතීන් ආරක්ෂා කරන්න මැදිහත්වෙන මේ අයගෙ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අයිතීන් ලබා ගැනීම වෙනුවෙන් බොහෝ සංවිධාන කණ්ඩායම් විවිධ උත්සාහයන් දැරුවත් මේ වරදේ ”මුළ” වෙනස් කරන්න තවම ඒ කාටවත් පුළුවන් වෙලා නෑ.!!!  😥😥😥 ( නිමාව)

වර්තමාන ජනමාධ්‍ය අමාත්‍ය ලෙස ඩලස් අලහප්පෙරුම මහතා පත් වු විට බොහෝ මාධ්‍යවේදීන් සතුටට පත් වුයේ ඔහුද හිටපු මාධ්‍යවේදියෙකු නිසා මාධ්‍යවේදියා ගැන සිතා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙනි. නමුත් තවමත් ප්‍රාදේශිය මාධයවේදියාට නම් තැනක් / ඇගයීමක් ලැබී නොමැති බවත් සියල්ල දේශපාලනයට මුවා වී සිදු වන බවත් ජනකගේ සිදුවීමෙන් තහවුරු වේ.

ශානි

letter

Social Sharing

Related posts