‘මතින් තොර රටක්’, ‘මතට තිත’ වැනි විවිධ ව්‍යාපෘති ඇරඹුණේ මෙරට පවතින මත් උවදුරේ බරපතලභාවය නිසාවෙන් ය. මන්ද, ශ්‍රී ලංකාව විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් ගැටලුවකට මුහුණ දී සිටින රටකි. මෙරටට මත්ද්‍රව්‍ය පළමුව පැමිණියේ 1505 දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසින් විසින් අබිං මෙරටට හඳුන්වා දීමත් සමඟයි. මේවන විට මත් උවදුරට ග්රහනය වූවන් අතර තරුණයන්, වැඩිහිටියන් පමණක් නොව පාසල් දරුවන් ද සිටීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි.
පසුගිය වසර කිහිපයේදී, මත්ද්‍රව්‍ය ආනයනය, අභ්‍යන්තර ජාවාරම්, භාවිතය සහ එමගින් ඇතිවන අපරාධ වැඩි වී ඇත. ඒ සමඟම, නීතිය ක්‍රියාත්මක වීමේ ගැටලු සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳව දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.
අපගේ රට තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, සිරගෙවල්වලට යැවීම, වධහිංසාවන්ට ලක් කිරීම, නඩු පැවරීම සහ බොරු චෝදනා යටතේ දිගු කාලීනව රඳවා තැබීම සාමාන්‍ය දෙයක් වී ඇත. නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම මානව හිමිකම් සුරැකිමින් නීතිය ක්‍රියාත්මක කිරීම ද වැදගත්ය.
පසුගිය මැයි මස බ්‍රිතාන්‍යයේ 21 හැවිරිදි ගුවන් සේවිකාවක් වූ චාලට් මේ ලී ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලදී. ඒ බැංකොක් සිට පැමිණි ඇය සතු වූ ගමන් මලුවලින්, අලුත්ම මත්ද්‍රව්‍යයක් වන ‘කුෂ්’ කිලෝග්‍රෑම් 46ක් සොයා ගැනීම නිසාවෙනි. වාර්තාවන අන්දමට එහි වටිනාකම ඩොලර් මිලියන 3කට අධික වේ.
කුෂ් මත්ද්‍රව්‍ය
ඇය පවසන්නේ මෙම මත්ද්‍රව්‍ය ඇය නොදැනුවත්ව ඇගේ ගමන් මලු තුළට කිසියම් පුද්ගලයකු විසින් ඇතුළු කර ඇති බවයි. කෙසේ වෙතත්, මෙම සිද්ධියත් සමගම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළඳ මධ්‍යස්ථානයක් වී තිබේද යන කාරණය කෙරෙහි වැඩි අවධානයක් මේ සමඟ යොමු විය.
කුෂ් යන මත්ද්‍රව්‍ය අර්බුදය ආරම්භ වූයේ අප්‍රිකාවේ සියරා ලියෝන් වෙතිනි. කුෂ් යනු මරිජුවානා, කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය මෙන්ම, අපැහැදිලි හේතුවක් මත මළසිරුරුවලින් ලබාගත් මිනිස් ඇටවල කුඩු ආදිය පවා භාවිතා කර නිෂ්පාදනය කරන අධි ක්‍රියාකාරී මත්ද්‍රව්‍යයකි. මෙම මත්ද්‍රව්‍ය නිසාවෙන් සියරාලියොන්හි තරුණයන් දහස් ගණනක් මිය යන බව වාර්තා වේ.
කුෂ් මත්ද්‍රව්‍ය පමණක් නොව මෙරට තුළ මත්ද්‍රව්‍ය වර්ග රාශියක් අලෙවි වන අතර ඒ අතුරින් කංසා, හෙරොයින්, කොකේන් හා මෙතැම්පිටමිම් යන මත්ද්‍රව්‍ය දැඩි ලෙස ව්‍යාප්තව තිබේ. මත්ද්‍රව්‍ය වෙළඳ ජාල අතර පවතින තරඟකාරීත්වය මත වර්තමානයේ අපරාධ රැල්ලක් හටගෙන තිබේ.
පොලිසීය පවසන අන්දමට 2022 වසරේ සිට 2025 මාර්තු 31 දක්වා කාලය තුළ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 238ක් ඝාතනය වී ඇති අතර නිවෙස්වල, මහමග, බස්රථ ඇතුළු වාහනවල පමණක් නොව, අධිකරණ ශාලා තුළ විනිසුරුවරුන් ඉදිරියේ පවා මේ අයුරින් මනුෂ්‍ය ඝාතන සිදු විය.
බොහෝ විට වරද පැටවෙන්නේ මත් ලෝලීන් මතයි. පොලීසිය විසින් තනි භාවිතා කරන්නන් පවා ජාල නායකයන් ලෙස චෝදනා කිරීම සාමාන්‍ය දෙයක් වී පවතින අතර ඔවුන් නිරතුරු පොලිස් වධහිංසනයට ලක්වේ. බොහෝවිට ව්‍යාජ නඩු පටලවා දීර්ඝ කාලීනව රිමාන්ඩ් බන්ධනාගාරගත කරවීමට හා සිර දඬුවම් ලබාදීමටත් ඔවුන් ගොදුරු වේ. මෙම නඩු නිසා සිර මැදිරි සිරකරුවන්ගෙන් පිරී පවතින අතර ඒවායේ මානව හිමිකම් අවම මට්ටමක පවතියි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා හමුදාව විසින් පවත්වාගෙන යන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අයහපත් තත්වයන්, එහි සිදුවන ශාරීරික හා මානසික වධහිංසනය, තර්ජන ආදී මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ මාධ්‍ය වාර්තා මෙන්ම අධ්‍යයන වාර්තා බොහෝමයක් නිකුත් කර ඇති අතර ඇත්තෙන්ම, මෙම මධ්‍යස්ථානවලින් සිදුවන පුනරුත්ථාපනයක් තිබේද යන්න ගැටලුවකි.
මෙම තත්වය සරල නීතිමය ගැටලුවකට වඩා ගැඹුරු සමාජමය, ආර්ථිකමය සහ මානව හිමිකම් අර්බුදයකි. කුෂ් වැනි නව මත්ද්‍රව්‍යවල ආගමනය, ජාත්‍යන්තර ජාවාරම් ජාල, දරුණු අපරාධ, සහ නීතියේ අසාධාරණ ක්‍රියාත්මක වීම යනාදී මේ සියල්ල එකට එකතු වී රටක් ලෙස අපගේ ආරක්ෂාවට, සාමයට සහ අනාගතයට තර්ජනයක් බවට පත්වී ඇත.
නමුත් මෙයට පිළිතුර විය යුත්තේ වධහිංසනය හෝ භීෂණය නොව යුක්තිය සහ මනුෂ්‍යත්වය සමඟ ගැලපෙන නීති ක්‍රියාත්මක කිරීමය. මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය වන්නේ නිවැරදි පුනරුත්ථාපනයකි. ආදරය සහ ජීවිතය නැවත ආරම්භ කිරීමට අවස්ථාවකි.
අපේ තරුණ පරපුර අඳුරු මාර්ගවලට නොව, ආලෝකවත් අනාගතයක දිශාවට යොමු කළ යුතුය. ඒ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ තීව්ර නීතියක් නොව, නිවැරදි නීතියකි. සත්‍යය, සාධාරණත්වය සහ මනුෂ්‍යත්වය සමඟ එකට යන්නට අප සැමට වගකීමක් ඇත.