ආණ්ඩුවට දැන් ඇති එකම විකල්පය කොතලාවල පනත හකුලා ගැනීම පමණයි!

“එක රටක් එක නීතියක්” යන තේමාව පෙරටු කරගෙන බලයට පැමිණි ගෝඨාභය පාලනය, ආණ්ඩුවට වාසි සහගත ජන ඒකරාශීවීම් සඳහා එක් ආකාරයකටත්, ආණ්ඩු විරෝධී ජන ඒකරාශීවීම්වලට තවත් ආකාරයකිනුත් කොවිඩ් මාර්ගෝපදේශ අවභාවිතා කිරීම සැබැවින්ම හාස්‍යයට කරුණක් බවත් අද ඔවුනට එම වුවමනාව ඉටුකර දෙන ආයතනය බවට ශ්‍රී ලංකා පොලීසිය පත්ව ඇතැයිද වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.

කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහි සිසු – ජන විරෝධතාවයේදී ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකල මැදිහත්වීම සම්බන්ධව විශේෂ ලිපියක් පොලිස්පතිවරයා වෙත යොමු කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මේ බව පවසා සිටියි.

මෙම ලිපිය යොමු කර ඇත්තේ එම කමිටුවේ කැඳවුම්කරු ඉමේෂ් සංගීත්ගේ අත්සනින් යුතුවය. ඔවුන් වැඩිදුරටත් එම ලිපියේ මෙසේද සඳහන් කර ඇත.

වත්මන් ආණ්ඩුව විසින් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙලේ තවත් එක් දිගුවක් ලෙස සහ අධ්‍යාපනය මිලිටරිකරණය සිදුකිරීම අරමුණු කොටගෙන කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබේ. ඊට එරෙහිව සරසවි සිසුන්, ආචාර්යවරුන් සහ වෘත්තීය සමිති විසින් පසුගිය 8 වනදා සංවිධානය කල සාමකාමී සහ නිරෝධායන නිර්දේශයන්ට අනුකූලව පැවැත්වූ විරෝධතාවයට ශ්‍රී ලංකා පොලීසිය මැදිහත් කරගනිමින් ආණ්ඩුව විසින් එල්ල කරනු ලැබූ මිලේච්ඡ ප්‍රහාරය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ලෙස තරයේ හෙලාදකින බව පළමුවෙන්ම ප්‍රකාශ කර සිටිමු.

කොතලාවල පනත පාර්ලිමේන්තු විවාදය සදහා ඉදිරිපත් කරන ලද දිනයේදී සරසවි සිසුන්, ආචාර්යවරුන් සහ වෘත්තීය සමිති එකතු පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවයේ නිරත වූයේ අප රටේ ව්‍යවස්ථාවේ සඳහන් ජනතාවට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙසටය. එහෙත් එය ආරම්භ කිරීමටත් ප්‍රථමයෙන් උද්ඝෝෂකයන් වෙත කිසිඳු ආකාරයක කරුණු පැහැදිලි කිරීමකින් හෝ තොරව එම සාමකාමී උද්ඝෝෂණයට සහභාගී වූ 33 දෙනෙකු  පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. එහිදී උද්ඝෝෂකයන්‍ට පහරදෙමින්, බිම ඇදගෙන යමින්, සමහරෙක්ට සිදුවිය හැකි ජීවිත හානි පවා නොසලකමින්, කාන්තාවන්ගේ ඇඳුම් පවා ඉරෙන ලෙසින් පොලිස් නිළධාරීන් හැසිරුණු ආකාරය ඉතා පිළිකුල් සහගතය. එම අවස්ථාව ආවරණය කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන්ට පවා පොලිස් නිළධාරීන් බාධා සිදුකර තිබිණි. එසේම අත්අඩංගුවට පත්වූවන්ට උසාවිය විසින් ඇප ලබා දුන් අවස්ථාවේ නැවතත් ඔවුන් නිරෝධායනයට යොමු කරවීම සඳහා යැයි කියමින් මුලතිව්හි පිහිටි හමුදා කදවුරකට යැවීම පොලීසිය විසින් නීතිය අත්තනෝමතික ලෙස භාවිතා කිරීමක් ලෙස හැදින්විය හැක. ඔවුන්ට නිරෝධායනය අවශ්‍ය නොවන බව උසාවිය විසින් පැහැදිලි ලෙසම ප්‍රකාශ කර තිබියදීත් එය නොතකා පොලිසිය මෙසේ හැසිරීම නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාපිතව නිර්මාණය කල ආයතනයක් විසින් අවිනීතිය ක්‍රියාවට නැංවූ අවස්ථාවක් ලෙස ඉතිහාසගත වනු ඇත.

නිරෝධායන නීති හා කොවිඩ් මර්දන මාර්ගෝපදේශ දඩමීමා කරගෙන ආණ්ඩුවට එරෙහිව පැන නගින ජනතා විරෝධය යටපත් කිරීමට තරම් මේ ආණ්ඩුව බංකොලොත් වී ඇති බව ජනතාවට මේ වන විටත් පැහැදිලි වී හමාරය.

අත්තනෝමතික ලෙස ගෙන එන කොතලාවල පනතට විරුද්ධව දැනටමත් දැවැන්ත ජනතා විරෝධතාවයක් ගොඩ නැගී ඇති බව නොරහසකි. දැන් අණ්ඩුවට ඉතිරිව ඇත්තේ මෙම පනත හකුලා ගැනීම පමණි. ඒ වෙනුවට ආණ්ඩුව විසින් මේ මොහොතේ සිදුකරන සිසු ජන විරෝධය මර්දනය හරහා යටපත් කරන ක්‍රියාව සම්පුර්ණයෙන් නතර කල යුතු අතර සිසු වෘත්තීය සමිති නායකයන් අත් අඩංගුවට ගැනීම ද නතර කල යුතුව ඇත. ආණ්ඩුව එම පටු වුවමනා වෙනුවෙන් පොලිස් නිළධාරීන් යොදාගැනීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරන අප, ඉහත සිදුවීමේදී පොලිස් නිළධාරීන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ද ඉල්ලා සිටිමු.

-ශානි-

Social Sharing
නවතම