නැව් ගින්නෙන් සිදුවූ හානිය අයකරගැනීමට විදේශීය නීතිඥ සහාය

කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනි ගත්  වෙළෙඳ නෞකාවෙන් සිදු වු හානියට  වන්දි ලබා ගැනිමේදී ජාත්‍යන්තර නීතීඥ සමාගමක සහාය ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියේ නීතිමය කටයුතු සිදු කිරීම ජාත්‍යන්තර රක්ෂණ සමාගම් සමඟ සිදු කරන බැවින් රටට හිමිවිය යුතු හිමිකම්පෑම සඳහා ජාත්‍යන්තර නීතීඥ සමාගමක සහාය ලබා ගැනීමට තීරණය කර ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා  පවසන්නේ.

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරටට සිදු වූ බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම පිළිබදව තවත් සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් ජුලි 12 සඳුදා  අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති බව රජය පවසයි.

xpress pearl ship fire Foreign Lawyer Assistance

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර ඇත්තේ නීතිපතිගේ  උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව එම නීතිඥ සමාගම තෝරා ගැනීම සිදු කරන බවයි.

මේ වන විට ලැබී ඇති වන්දි මුදල් බෙදාදිම පිළිබඳව මෙන්ම ඉතිරි වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබේ.

වන්දි මුදල් ලබාදීමේ ක්‍රියාවලියේදී ධීවර ජනතාවට ප්‍රමුඛත්වය ලබාදුන් බවත් විශේෂයෙන් සාගරය තුළ ගිලි තිබු නෞකාවේ තිබු කන්ටේනර් ඇති ස්ථාන හදුනා ගැනීම පිළිබදව කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා ඉන්දීය නාවික හමුදාවේ සහාය ද ලැබී ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට වැඩි දුරටත් පවසා තිබේ.

සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720 ක වන්දි මුදලක් මහ බැංකුව වෙත මේ වන විට ලැබී තිබෙන  අතර, ජනාධිපතිගේ  උපදෙස් අනුව ඉන් රුපියල් මිලියන 420 ක් පමණ වු මුදලක් ධීවර ජනතාව වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට වෙන් කර ඇති බව අමාත්‍යවරයා එහිදී පැවසු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අධිකරණ අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ නැව ගිනිගැනීමෙන්  පීඩාවට පත්ව සිටින ජනතාවට ද තමන්ට සිදුව ඇති හානිය පිළිබඳව අයදුම් කළ හැකි අතර , හානිය තහවුරු කර ගැනීමෙන් පසුව ඔවුන්ට ද වන්දි මුදල් ලබාදීමට නියමිත බවයි.

දේශීය සමාගම තොරතුරු වසන් කරලා

කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වී මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල්  නෞකාවේ බහාලුමක නයිට්‍රික් අම්ල කාන්දුවක් සිදු වී තිබූ බව නෞකාව මෙරට දේශසීමාව තුළට ඇතුළු වන අවස්ථාවේ දී නැවේ කාර්ය මණ්ඩලය විසින් දේශීය නියෝජිත සමාගම දැනුවත් කර තිබුණ ද සමාගම එම තොරතුරු වසන් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය  හමුවේ ජුලි 10 වැනිදා අනාවරණය කර තිබුනි.

තොරතුරු වසන් කළ බවට වන චෝදනා යටතේ  නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ නිලධාරීන් හත් දෙනකු  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණය හමුවේ ඒ බව පවසා  තිබුනි.

මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබුනේ  එම  සැකකරුවන් හත් දෙනා රුපියල් ලක්ෂ විසි පහක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි.

Social Sharing
නවතම