ලිංගික හිංසනයට ලක් වූ පොලිස් කොස්තාපල්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙලා! – HRC නිර්දේශ කරයි.

සිය‌ පොලිස් ස්ථානයේම උසස් පොලිස් නිලධාරියෙකුගෙන් සිදු වූ ලිංගික හිංසනයක් ගැන පැමිණිලි කළ පොලිස් කොස්තාපල්වරයෙකුට අසත්‍ය චෝදනා නගා විනය පරික්ෂණයකට යොමු කිරීම සම්බන්ධයෙන් වසර තුනක් පුරා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ තිබු පැමිණිල්ලකට නිර්දේශ ලැබී ඇත.

ඒ එම කොස්තාපල්වරයාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවටය.

ලුණුගල පොලිසියේ සේවය කරමින් සිටියදී පොලිස් පරික්ෂකවරයෙකුගෙන් මෙම පොලිස් කොස්තාපල්වරයාට විවිධ ලිංගික හිංසනයන් සිදු වී තිබුණි. ඒ 2018 වසරේදීය. ඔහු මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කලද විධිමත් පරීක්ෂණයක් සිදු නොවීම මත ඔහු තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විමසීමක් කර තිබේ. ඒ සමඟම වින්දිත පොලිස් කොස්තාපල්වරයා කෙටි කාලයක් ඇතුළත පොලිස් ස්ථාන තුනකට ස්ථාන මාරු ලැබීය.

මෙම සිද්ධිය 2018 වසරේ දිගින් දිගටම ලංකාදීප පුවත්පත හරහා මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන විසින් හෙළි කරන්නට වූ අතර  අනතුරව මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත තොරතුරු ලබා දුන් බව කියමින් එම පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව චෝදනාපත්‍රයක් ලබා දී විනය පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

වින්දිත පොලිස් කොස්තාපල්වරයා 2018 වසරේදි මේ පිලිබඳ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබුණේය. එහිදී එවකට බදුල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ ඒ.පී ධම්මික වීරසේකර මහතා, බදුල්ල සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ රොෂාන් රාජපක්ෂ මහතා, පොලිස් පරීක්ෂක ජී.ඩී රත්නපාල මහතා ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ලේ  වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටියහ.

ඒ අනුව මේ පිලිබඳ විමර්ශනයක් පැවැත් වූ මානව හිමිකම් කොමිසම පොලිසිය මෙම පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කොට ඇති මූලික අයිතිවාසිකම් මෙම කොස්තාපල්වරයා විෂයෙහි උල්ලංඝනය වී ඇති බවත් පැමිණිලිකරුට වගඋත්තරකරුගෙන් (රත්නපාල) සිදුවූ හිංසන ක්‍රියා සලකා බලනවිට ඒ සම්බන්ධයෙන් අනෙක් වගඋත්තරකරුවන් වෙත පැමිණිලි කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට යම් කාලයක් ගතවීම තුළින් පැමිණිලිකරුට මානසික පීඩනයක් ඇති විය හැක.’ යනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු ලබා දී ඇත.

‘මෙවැනි සිදුවීම් ජනමාධ්‍යයේ පළවීමෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත්වන බවට පොලිසියෙන් ඉදිරිපත් කරන මතය පිළිනොගන්නා බව ද, ජනමාධ්‍යයේ පළවීමෙන්  මෙවැනි ක්‍රියාවලින් තවත් පොලිස් නිලධාරියකු අපහසුතාවට පත්වීම වැළැක්වීමට සහ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට අවබෝධයක් ඇති කිරීමට හැකි බවත්, යම් නිලධාරියකුට අකටයුත්තක් අසාධාරණයක් සිදුවූ විට සහන පැතීම සඳහා වෙනත් ආයතනයකට පැමිණිලි කිරීමේ සම්පූර්ණ අයිතිය ඔහු සතු බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

එසේම පොලිසියේ මෙවැනි විනය පරීක්ෂණ මගින් දූෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අධෛර්යමත් කරන බව පොලිසියේ මතය බව ද, දූෂිත නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි කිරීම සහ ඔවුන් පිළිබඳව දැනුම්වත් කිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් පුළුල් කළ යුතු බව ද  මේ බව සනාථ කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමන්ති මනෝහාරි පැලකැටිය ගුරු මහත්මිය මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් වැඩ තහනම් කිරීම වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ද උපුටා දක්වා තිබේ.

පිටු 11කින් සමන්විත තීන්දුවේ පිටපත් පොලිස්පිවරයාටත්, ජාතික පොලිස් කොමිෂන් සභාවටත් යොමු කර ඇත.

කෙසේ නමුදු මානව හිමිකම් කොමිෂන් සභාවේ තීන්දුව ලැබෙන විට පොලිස් පරීක්ෂක රත්නපාල මහතා මියගොස් මාස කිහිපයක් ගතවී ඇත.

medialk.com ඇසුරෙනි.

Social Sharing
නවතම