විරෝධතාකරුවන් මර්දනයට වසංගත නීතිය!

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ දියත් කරන සිංහල, දෙමළ ක්‍රියාධාරීන් මර්දනය සඳහා වසංගත නීති යොදා ගනිමින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම යළිත් වරක් ආරම්භ කර තිබේ.

පොලිස් නිලධාරියකු අතින් ඝාතනයට ලක්වූ සිය සමීපතමයකුට යුක්තිය ඉල්ලා විරෝධතාවයක් දියත් කිරීමට පැමිණි දෙමළ පිරිසක් නිරෝධායන නීති යොදා ගනිමින් මඩකලපුවේදී  අත්අඩංගුවට ගනිද්දී ජනතා උද්ඝෝෂණවලට සම්බන්ධ වූ දේශපාලන හා වෘත්තිය සමිති ක්‍රියාධරයන් කිහිප දෙනකුම පොලීසිය විසින් දකුණේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ ද වසංගත  නීතිය ම යොදා ගනිමිනි.

ඒ සමගම පොලිසිය මහජන උද්ඝෝෂණවලට තහංචි පනවා ඇති අතර විරෝධතාකරුවන් සම්බන්ධයෙන් නිරෝධායන අණපනත් ක්‍රියාවේ යොදවා ඇති බව පෙනී යන්නේ පරස්පර අයුරිනි.

ජුනි 21 වැනි දින රාජ්‍ය අමාත්‍ය සතාසිවම් ව්‍යාලේන්ද්‍රන්ගේ  ඇමැති ආරක්ෂක නිලධාරියකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලද බව පැවසෙන මහාලිංගම් බාලසුන්දරම්ට සාධාරණය ඉටු කරන ලෙස  ඉල්ලමින් විරෝධතාවයක් දියත් කිරීමට  ඔහුගේ මව, පියා ඇතුළු ඥාතීන් පිරිසක් ජුලි 7 බදාදා මඩකලපුවේ ගාන්ධි උද්‍යානය ඉදිරිපිට පැමිණ තිබුනි.

නිරෝධායන නියෝග අනුව විරෝධතාවයක් පැවැත්වීමට ඉඩ දිය නොහැකි බව පැවසූ මඩකලපුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා 16 දෙනකුගෙන් යුත් එම පිරිස අත්අඩංගුවට ගෙන  පොලිස්ථානයට ගෙන ගොස් PCR පරීක්ෂණ සදහා යොමු කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

වාර්තාකරුවන්  වැඩි දුරටත් පවසන්නේ එම පිරිස මේ වන විට නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත දන්වන ලද බව පවසමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජුලි 06 අඟහරුවාදා පස්වරුවේ නිවේදනය කර තිබුනේ පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම්දෙන තුරු සිදු නොකළ යුතු බවයි.

“මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් සිදු කිරීම මගින් කොවිඩ් රෝගය පැතිර යාමේ විශාල අවදානමක් පවතී. එබැවින් එවැනි ආකාරයේ මහජනතාව විශාල වශයෙන් ඒකරාශි වන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම්දෙන තුරු සිදු නොකල යුතු බව දන්වා සිටිමි.”

ඉහත නිරෝධායන නියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියා කරනු ඇති බව එහි වැඩි දුරටත් සදහන්ව තිබුනි.

බොරලන්ද ප්‍රදේශයේදී ජුලි 1 වැනිදා ගොවි උද්ඝෝෂණයකට සහභාගි වීම නිසා නීති විරෝධී ජනරාශිය හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා නගා ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න අද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනි.

ඔවුන් දෙදෙනා  මහෙස්ත්‍රාත් අධිකරණයේදී  නිදහස් කර තිබුනේ රුපියල්  ලක්ෂය බැගින් ශරීර ඇප නියම කරමිනි.

ගොවි ජනතාව පොහොර හිඟයට පිළියම් යොදන ලෙස රජයට බල කරමින්  රට පුරා  උද්ඝෝෂණය දියත් කරද්දි බොරන්ද ප්‍රදේශයේ පැවති විරෝධතාවට ඉහත දේශපාලන ක්‍රියාධරයන් දෙදෙනා සහභාගී වී තිබුනි.

එදින විරෝධතාකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් පොලිසිය තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ අපේක්ෂාව අධිකරණයේදී ප්‍රකාශයට පත් කර තිබේ.

හිටපු  බස්නාහිර  පළාත් සභා  මන්ත්‍රී මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනෙකු  ද බෝපිටිය පොලිසිය විසින්   අද අත්අඩංගුවට ගෙන තිබුනි.

ඒ ජන ජීවිත අනතුරේ හෙළමින් මුතුරාජවෙල තෙත් බිම් වැනසීමට එරෙහිව අද පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගීවීම හේතුවෙනි.

ඔවුන් දෙදෙනා ද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබුනි.

එම විරෝධතාකරුවන් කිසිවකුත් නිරෝධායනයට යොමු කළ බවක් දැන ගන්නට නැත.

ඉංජිනේරු සංස්ථා සේවක උද්ඝෝෂණයක්  අතරතුර කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව ඇතුලු පිරිසක් අද පොලිසිය විසින්  අත් අඩංගුවට ගෙන තිබේ.

ඒකාබද්ධ ඉංජිනේරු සේවා සේවක සංගමය විසින් සේවක දඩයම නවතා දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ දිනයේ සිට විරෝධතාවක් දියත්කර තිබු අතර  අද එම විරෝධතාවය සඳහා එක්වෙමින් සිටියදී   දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් මෙලෙස  අත්අඩංගුවට ගෙන තිබුනි.

සැකකරුවන් පිරිස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබූ අතර  අධිකරණය විසින් ඔවුන්ට ඇප ලබා දී තිබුනි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරන්නේ  ඇප ලබා දීමෙන් පසුව පොලීසිය දුමින්ද නාගමුව ඇතුළු පිරිස බලහත්කාරයෙන් නිරෝධායනය සඳහා රැගෙන ගිය බවයි.

බඩුමිල අඩු කරන ලෙසත්, මහජන දේපල විකුණා දැමීම නතර කරන ලෙසත් බල කරමින් අද කළුතර නගරයේ පැවැත්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණයේදී පොලීසිය විසින් දස දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභික පුබුදු ජාගොඩ සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ.

වෘත්තිය සමිති නායකයන් පෙන්වා දෙන්නේ  කෝවිඩ් 19 නිරෝධායන නීතීයට මුවා වී මෙලෙස අරගලවල නිරත වෘත්තීය සමිති හා දේශපාලන ක්‍රියාධරයන්  මර්දනය කිරීම බරපතල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියාවක් බවයි.

“ජනතාවට උද්ඝෝෂණ කිරීමට සිදුව ඇත්තේ ආණ්ඩු ජනතා ගැටලූ විසඳීමට කටයුතු නොකිරීම නිසාය. උද්ඝෝෂණ සහ ජනතා අරගල නැවැත්වීමට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ එම ගැටලූ විසඳීමට කටයුතු කිරීමය. එසේ නොමැතිව ජනතා ගැටලූ දිනෙන් දින උත්සන්න වෙමින් පැවතියදී එම ගැටලූ විසඳීමට බලකරමින් උද්ඝෝෂණවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ මර්දනකාරී පිළිවෙත කි‍්‍රයාවට නැගීමකි.”

මෙම මර්දනකාරී තත්වය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින ලංකා ගුරු සංගමය,  සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ශී‍්‍ර ලංකා ජාතික විදුහල්පති සංගමය, පුහුණු හා විද්‍යාපීඨ උපාධිධාරී ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ලංකා ප‍්‍රගති ගුරු සංගමය, ශ්‍රී  ලංකා ජාතික ගුරු සංගමය, ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට   අවධාරණය කර ඇත්තේ කොවිඩ් 19 නිරෝධායන නීතීන්ට මුවා වී ජනතාවගේ විරෝධය පෑමේ හා උද්ඝෝෂණය කිරීමේ අයිතිය  උල්ලංඝණය නොකරන ලෙසත්, උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී  නියමයන් වහා අකුලා ගන්නා ලෙසත්ය.

Social Sharing
නවතම