ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මොකද වුනේ?

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ දෛනික පාඩුව රුපියල් මිලියන 84 ක් බව කොප් කාරක සභාවේදී හෙළි වී තිබේ.

එසේම මෙම  ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියෙකු රුපියල් මිලියන 3.1 ක මාසික වැටුපක්ද, ගුවන් නියමුවන් 82 දෙනෙකු රුපියල් මිලියන 02 කට වැඩි මාසික වැටුපක් ද, තවත් ගුවන් නියමුවන් 142 දෙනෙකු, ගුවන් යානා ඉංජිනේරුවන් 12 දෙනෙකු, ඉංජිනේරු අංශයේ කළමණාකරුවන් 09 දෙනෙකු හා ඉහළ කළමණාකරණයේ නිලධාරින් 03 දෙනෙකු රුපියල් මිලියනයත්, මිලියන 02 අතර මාසික වැටුපක් ලබන බවද අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට කෝප් කාරක සභා රැස්වීම කැඳවා තිබූ අවස්ථාවේදීය. ඊට  කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්‍රාල්, ඩී.වී චානක ,ඉන්දික අනුරුද්ධ යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, එස්.එම් මරික්කාර්, ජගත් පුෂ්පකුමාර, ජයන්ත සමරවීර, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරු සභභාගී වී ඇත.

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට, එය නැවත රජයට පවරා ගැනීමේ දින සිට සමුච්චිත අලාභය රුපියල් මිලියන 372,015 කි. 2020/21වර්ෂයේ බදුවලට පසු එම සමාගමේ මුළු අලාභය රුපියල් මිලියන 45,674 ක් බවත්, මෙහෙයුම් අලාභය ද වැඩි වී තිබෙන බවත් බව කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

ඊට කොවිඩ් 19 වසංගතයේ බලපෑම මෙන්ම, ගුවන් යානා ඉන්ධන පිරිවැය, ගුවන් යානා මෙහෙයුම් කල්බදු පිරිවැය  සහ අනෙකුත් මෙහෙයුම් කල්බදු පිරිවැය සහ අනෙකුත් මෙහෙයුම් වල වියදම්වල ඉහළ යාම බලපා ඇත.

සමාගමේ අහිතකර ප්‍රාග්ධන තත්ත්වය 2021මාර්තු 31 දිනවන විට බරපතල තත්ත්වයකට පත්ව තිබෙන බවත්, එහෙයින් භාණ්ඩාගාරයේ සහයක් නොමැතිව සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයකට මුහුණ දී සිටින බවත් කාරක සභාව නිරීක්ෂණයට ලක් කර ඇත.

2020 වසරේදී භාණ්ඩාගාරය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක අතිරේක ප්‍රාග්ධන යෙදවීමක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබූ අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 240 ක  මුදලක් මේ වනවිටත් සමාගම වෙත නිකුත් කර ඇතැයිද කාරක සභාවේ නිරීක්ෂණය විය.

ඒ අනුව සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට අදාළ පූර්ණ ව්‍යාපාරික සැලැස්මක් සකසා මාසයක් ඇතුළත් කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා,එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාට දැනුම් දී ඇත.

එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍යාංශ මට්ටමින්ද වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස කාරක සභාව, සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කර ඇති අතර විශේෂඥ කමිටුවක් පත්කර පුළුල් අධ්‍යයනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසද කාරක සභාව  නිර්දේශ කර තිබේ.

-ශානි-

(කෝප් කාරක සභාව ඇසුරෙනි)

Social Sharing
නවතම