පෞද්ගලික මගී බස් ධාවනයට මොකද වෙන්නේ?

කොවිඩ් 19 තෙවැනි රැල්ලේ සංචරණ සීමා ලිහිල් කර දැන් මේ ගෙවී යන්නේ දෙවැනි සතියය. රටේ කටයුතු බොහොමයක් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අතර පෞද්ගලික හා රාජ්‍ය ආයතනද බොහෝ ස්ථාන වල ආරම්භ කර ඇත.

මේ වන විට රැකියාවට යන, අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යන පුද්ගලයෙකු මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ඇත. ඒ පොදු ප්‍රවාහන පහසුකම් නොමැති වීමේ ගැටලුවය. දුම්රිය නම් මේ වන විට දිනකට සැලකිය යුතු ප්‍රමාණයක් උදෑසන මෙන්ම සවස ධාවනය වේ. ලංගම බස් රථ ද සීමීත ගමන් වාර ප්‍රමාණයක් ධාවනය වූවද පෞද්ගලික මගී බස් රථ නම් ධාවනය කරන ආකාරය ගැන සෑහීමකට පත් විය නොහැකිය.

විශේෂයෙන්ම මේ තත්ත්වය බස්නාහිර පළාතට බලපාමින් ඇත. වෙනදා ලංගම බස් රථ සමග රණ්ඩු කරමින්, තරඟෙට ධාවනය කළ පෞද්ගලික බස් රථ අද දක්නට නැත. මගියා මහ පාරේය.

මීට පෙර දෙවැනි කොවිඩ් රැල්ලේදී බස් ගාස්තු සංශෝධනය කළේද ආසන ගණනට මඟීන් ගෙන යාමට බස් හිමිකරුවන් කැමැත්ත පළ කරමිනි. නමුත් ඒ කැමැත්ත ඔවුන්ගේ අද නැත. අද පෞද්ගලික මඟී බස් රථයක් ධාවනය කරන ලෙස මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියෙන් දැනුම් දුන් විට බස් හිමියන්ට ගැටලු රැසකි. පළාත් අතර පනවා ඇති සංචරණ සීමාද හේතුවකි.

බස් හිමියන් පවසන්නේ පාරේ සෙනඟ නැති බවය. දුවලා පාඩු බවය. නැතිනම් වැඩ කිරීමට ගෝලයින් නැති බවය.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ නිල වෙබ් අඩවියට අනුව එහි සාමාන්‍ය සේවා මාර්ග 541 කි.  අධිවේගී සේවා මාර්ග 40 කි. සාමාන්‍ය සේවා බස් රථ 6212 කි. අධිවේගි සේවා බස් රථ 117 කි. ඊට අමතරව මේවා පාලනය කිරීමට ප්‍රාදේශිය කාර්යාල 07 ක් බස්නාහිර පළාතේ පමණක් ඇත.

අප මේ බස් අර්බුදය පිලිබඳ විමසීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා  සම්බන්ධ කර ගත්තෙමු.

ඒ මහතා පවසන්නේ වෙනදා බස්නාහිර පළාතේ බස් 4700 ක් විතර ධාවනය වු බවත් ඊයේ දින නම් බස් 1600 ක් පමණ  ධාවනය කෙරුනු බවය. ඒ අතරින් බස් 745 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ධාවනය කෙරුනු බවද ඒ මහතා සිටියි.

නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ කළ සොයා බැලීමකදී අනාවරණය වුයේ මාර්ග කිහිපයක පමණක් බස් විධිමත්ව ධාවනය වු බවය. ගම්පහ ප්‍රදේශිය කාර්යාල වලට අයත් ඇතැම් ප්‍රධාන මාර්ග වල බස් රථ තවමත් විධිමත් ආකාරයෙන් ධාවනය වනනේ නැත. ඊට හොඳම උදාහරණය මාර්ග අංක 244 දරණ ගම්පහ – මීගමුව බස් මාර්ගයයි. උදෑසනට මීගමුව දෙස සිට ගම්පහට ඒ්මට බස් රථ නැත. මේ නිසා ඒ ප්‍රදේශ වල සිටින මඟී ජනතාවට විකල්ප ප්‍රවාහන සේවා සපයා ගැනීමට සිදුව තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා අයිතිය වෙබ් අඩවිය වෙත පවසා සිටියේ මේ සම්බන්ධව ඊයේ දිනද සාකච්ඡාවක් පැවති බවය. හැකි ඉක්මනින් මෙයට ක්‍රමවේදයක් සකසා පෞද්ගලික මඟී බස් රථ ධාවනයට කටයුතු කරන බව ඔහු පවසයි.

-ශානි-

Social Sharing
නවතම