“නැවත නිදහස් සටනකට සුදානම්” ඇල්ලේ හිමි කියයි,  දෙමළ ඩයස්පෝරා සහායත්!

දේශපාලඥයින්ට රට බාර දී රට විනාශ වූ බවත් දැන් එහි අවසානයක් දැකීමට දෙමළ ඩයස්පෝරාව ඇතුලු ජාතී භේද නොසලකා සියලු දෙනා දැන් දෙවන නිදහස් සටනට එක් විය යුතු බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි

මේ වන විට කිරි බෝතලයට වඩා වතුර බෝතලය ගණන් ගිහින් ඇති බවත් ඒ් නිසා මෙරට කැලෑ ටික, මහ පොලව, පොස්ෆේට් නිධිය, ඉල්මනයිට් නිධිය, මිනිරන් ආදී අපේ සම්පත් ටික රැක ගත යුතු බව උන් වහන්සේ අවධාරණය කරයි.

අපේ රට මේ වන විට ප්‍රශ්න රාශියකින් පෙලෙන රටක් බවත් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන අප සියලු දෙනා බෙදී සිටිනතාක් අපේ රටට නිදහසක් නොමැති බවත් අප බෙදී සිටිනතාක් ජාත්‍යන්තර බලවේග  මෙරටට ඇවිත් මෙරට සම්පත් මංකොල්ලයක නිරත වන බව උන් වහන්සේ පවසයි.

1948 දී මේ රටට නිදහස ගන්න එදා උතුම් මිනිසුන් එක් වු අයුරින් නැවත වරක් සියලු ජාතීන් එක් වී ජාත්‍යන්තර බලවේග වලට නොසැලී මුහුණ දී රට ආරක්ෂා කර ගත යුතු බවද උන් වහන්සේ පෙන්වා දෙයි.

මේ වන විට යාපනේ දෙමළ සහෝදරවරු පිරිසක් තමන් සමඟ සාකච්ඡා කර ඇති බවත් ගිය සතියේ මැලේ ජාතික පිරිසක්ද මෙයට එක් වු බවත් පවසන උන් වහන්සේ පෙන්වා දෙන්නේ දේශපාලනයෙන් තොර වු, ජාතිවාදයෙන් තොර වු එකම මවකගේ දරුවෝ ලෙස දෙවැනි නිදහස් සටන සඳහා අප අත් වැල් බැඳ ගත යුතු බවය.

බටහිර අදිරාජ්‍යවාදීන් මේ වන විට ලංකාවේ ඛනිජ සම්පත් මංකොල්ලයක නිරතව සිටින බවත් පොස්ෆේට් නිධියක් තබාගෙන පොහොර නැතැයි හඩ නගා කියන රටක් වීම පුදුමයට කරුණක් බව පෙන්වා දෙන ඇල්ලේ ගුණවංශ හිමියන් පවසන්නේ තව වසර 10 ක් යන විට ජල හිඟයක් ඇති විය හැකි බවය.

මේ වන විට කිරි බෝතලයට වඩා වතුර බෝතලය ගණන් ගිහින් ඇති බවත් ඒ නිසා මෙරට කැලෑ ටික, මහ පොලව, පොස්ෆේට් නිධිය, ඉල්මනයිට් නිධිය, මිනිරන් ආදි අපේ සම්පත් ටික රැක ගත යුතු බවත් පෙන්වා දෙයි. එසේම උන් වහන්සේ පවසන්නේ දැන් මේ නම් කීමටත් බය බවය. මන්ද ඒවාත් විකුණගෙන කයි කියාය.

දෙමළ ඩයස් පෝරාවට සම්බන්ධ විදේශයේ අධ්‍යාපනය ලැබු නිමලන් විශ්වනාදන් මහතා සමඟ සාකච්ඡා කළ බවත් ඒ නිසා විදේශයේ සිටින තවත් ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන්නේ මේ සටනට එක් වන ලෙස බවද උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියි.

කොළඹ පමණක් නොව කන්කසන්තුරේ පවා රාජ්‍ය දේපල විකිණීමේ වෑයමක් ඇති බව අවධාරණය කරන උන් වහන්සේ කියා සිටින්නේ සියලු දෙනාම රටක් ලෙස මෙයට එරෙහිව පෙළ ගැසිය යුතු බවය.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

-ශානි-

Social Sharing
නවතම