
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් සියයට 20කට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වයස අවුරුදු 5ට අඩු සහ ඊට වැඩි දරුවන් ආශ්‍රිතව සිදුකළ නවතම සමීක්ෂණයකින් මෙම තත්ත්වය අනාවරණය වී ඇති බවයි.
එම දත්ත අනුව, මෙරට දරුවන්ගෙන් පහෙන් එක් අයෙකු පමණ මන්දපෝෂණයෙන් පෙළෙන අතර, දරුවන්ගේ මිටි බව සියයට 10.1ක් ලෙසත් වයසට සාපේක්ෂව බර අඩුකම සියයට 16.1ක් ලෙසත් වාර්තා වී තිබේ. බර වැඩිකම පවතින්නේ සියයට 0.5ක් වැනි ඉතා සුළු මට්ටමක බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, කුඩා කාලයේදී නිසි පෝෂණය නොලැබීම හේතුවෙන් මෙම දරුවන් තාරුණ්‍යයට සහ මැදිවියට පැමිණීමේදී අධික ස්ථූලතාවයට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කළේය.
ඔහු පෙන්වා දුන්නේ, දැනටමත් ශ්‍රී ලංකාවේ වැඩිහිටි කාන්තාවන්ගෙන් සියයට 47ක් සහ පිරිමින්ගෙන් සියයට 30ක් ස්ථූලතාවයෙන් පෙළෙන බවයි. එමෙන්ම කාන්තාවන්ගෙන් සියයට 15ක් සහ පිරිමින්ගෙන් සියයට 6ක් අධික ස්ථූලතාවයට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා පවුල්, පාසල් සහ සෞඛ්‍ය අංශ එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.
