ජනපති අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හමුවීමට සැරසේ!

“ගම සමග පිලිසඳරක්” යනුවෙන් හඳුන්වමින් ජනාධිපතිවරයා අගනුවරින් ඈත පිහිටි දකුණු දිග ගම්වල වාසය කරන ජනතාවගේ ගැටළු විමසන වැඩ සටහන් මාලාවක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්  විශ්‍රාමික  අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ  පෙබරවාරි  25 බ්‍රහස්පතින්දා හින්දු පුවත්පතට පවසා ඇත්තේ “මෙම ගැටලුව නිමාකරමින් එම පවුල්වලට විසඳුමක් ලබා දීමට ජනාධිපතිතුමා සැබවින්ම අධිෂ්ඨාන කරගෙන සිටින” බවයි.

වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙස ඉල්ලමින් කාන්තාවන් මුලික කරගත් උතුරු නැගෙනහිර දෙමළ පවුල් වල ජනයා වසර හතරකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩ විරෝධතාවල යෙදී සිටිති.

දෙමළ, මුස්ලිම් ජනයාගේ සහභාගිත්වයෙන් නැගෙනහිර සිට උතුර දක්වා දින පහක් පුරා පසුගියදා දියත් කළ සාම පාද  යාත්‍රාවේ ප්‍රමුඛතම ඉල්ලීමක් වී තිබුනේ  බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද අයට අත් වූ  ඉරණම හෙළි කරන ලෙසයි.

අතුරුදහන්වුවන්ගේ පවුල් වල සාමාජිකයන් හමුවී ඔවුන්ගේ ගැටළුවට  විසදුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ගන්නා පළමු උත්සාහය මෙය වනු ඇත.

“දේශපාලනඥයන් පවසන දේට වඩා, මේ ඥාතීන්ට ඇහුම්කන් දීමටත්, ඔවුන්ගේ දුක්ගැනවිලිවල යථා ස්වරූපය හඳුනා ගැනීමටත්, එමගින් ඔවුන්ට විසඳුමක් ලබා දීමටත් ජනාධිපතිට අවශ්‍යයි. එය ඉතා ඉක්මනින් සිදුවනු ඇත.” යි මහාචාර්ය කොළඹගේ වැඩි දුරටත්  පවසා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එම උත්සාහය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් හෙළි කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවේ ඉටු නොවූ යුක්තිය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් ජිනීවා නුවර පවත්වමින් සිටියදීය.

යුද සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ව සිටි ගෝඨාභය  රාජපක්ෂ, 2019 ජනාධිපතිවරණ සමයේදී මාධ්‍ය අමතමින් කියා තිබුනේ,  රජය වෙත යටත්  වූ 13,784 ක පිරිස   පුනරුත්ථාපනය කිරීමෙන් පසු, යලි  සමාජගත කර රැකියා ලබා දී ඇති බවයි.

නමුත් ආණ්ඩුවේ විවිධාකාර කොමිෂන් සභා ඉදිරියේ සහ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ දී සාක්ෂි ලබා  දුන්  අතුරුදහන්වුවන්ගේ පවුල්, සහතික කර තිබුනේ  එසේ නිදහස් කළ බව පවසන පිරිස  අතර තමන්ගේ සමීපතමයන්  නොසිටි බවටයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමත්, යුද අපරාධ ඇතුළු අතීත උල්ලංඝන සම්බන්ධයෙන් පොරොන්දු දී ඉටු නොකළ  යුක්තිය සලසා දීම සඳහාත්  ගෙන එනු ලබන යෝජනාවක් සඳහා මාර්තු මාසයේ තුන්වැනි සතියේ ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය  “පිරිහෙමින් පැවතීම” ගැන අනතුරු අඟවා තිබේ. දේපල හා සංචාර තහංචිය ඇතුළු  අපරාධකරුවන් ඉලක්ක කොටගත් සම්බාධක පැනවීම, සහ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය යටතේ විමර්ශනය කොට නඩු පැවරීම ඊට ඇතුලත් ය. ඇගේ වාර්තාව “ශ්‍රී ලංකාවට එරෙහි ඇතැම් කොටස් විසින් නිර්දය ලෙස ලුහුබඳිනු ලබන පූර්ව නිගමනය, දේශපාලනීකරණය සහ අගතිගාමී න්‍යාය පත්‍රය පිළිබිඹු කරන්නක්” ලෙසින් ලංකාණ්ඩුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත් රජය විසින් මහකොමසාරිස්වරියගේ වාර්තාව සම්බන්ධයෙන් ලිඛිතව ලබාදී ඇති පිළිතුරෙහි සඳහන් වන්නේ අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් “අවශ්‍ය විමර්ශන කිරීමෙන් අනතුරුව මරණ සහතික හෝ දක්නට නොමැති බවට සහතික නිකුත් කොට පීඩාවට පත් පවුල් වලට ජීවිකාව සහ වෙනත් ආධාර සලසා දීමට” පියවර ගන්නා බවයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් ආරම්භක පියවරක් ලෙසින් දත්ත ලේඛනගත කොට ඇති බවද එහි සඳහන් වේ.

2016 දී පාර්ලිමේන්තුවේ පනතක් මගින් පිහිටුවන ලද OMP කාර්යාලය අතුරුදහන් වූවන් ගෙන් එක් අයකු හෝ තවමත් සොයාගෙන නැත.

යුද සමයේත් ඉන් පසුවත්  කරනු ලැබූ බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම් සම්බන්ධයෙන් සත්‍යය හෙළි කරන ලෙස ඉල්ලා සිටින දෙමළ ජනයා රජය විසින් එය තහවුරු කරන තුරු කිසිදු සහතිකයක් හෝ සහනාධාරයක් ලබා දීම ප්‍රතික්ෂේප කර සිටිති.

දකුණේ ඇතැම් සංවිධාන පෙන්වා දෙන පරිදි රජයෙන් අනුමත රුපියල් 6000 මාසික දීමනාව මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු වින්දිත පවුල්වලට ගෙවා නැත.

මුලාශ්‍රය : https://www.thehindu.com/news/international/india-cannot-abandon-us-sri-lanka/article33944062.ece

Social Sharing
නවතම