දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කරන්නේ ආණ්ඩුවයි – දුම්රිය වෘත්තිය සමිතියකින් හෙළිදරව්වක්!

මහවදී ප්‍රීමා පිටි රැගත් දුම්රියක් රියදුරෙකු නොමැතිව නවතා තිබු පුවතක් පහුගියදා පුවත්පත් වල පළ කර තිබුණි. එහිදී කියවුනේ මෙම පිටි රැගත් දුම්රිය ගෙන යාමට සිටි දුම්රිය රියදුරු නිලාවේලිහී පැවති සාදයකට ගොස් නැවත ඒමට පමා වු බවය. නමුත් පසු දිනම දුම්රිය දෙපාර්තමේන්තුව ඒ පුවත නිවැරදි කරමින් පවසා තිබුණේ මේ නිසා කිසිදු දුම්රියක් ප්‍රමාද නොවු බවය.

මේ අතර පහුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි වූ තවත් කරුණක් වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලැබීමට ප්‍රධාන වී ඇත්තේ දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය නොවීම නිසා බවය.

නමුත් මෙහිදී සිහිපත් කළ යුතු වැදගත් කරුණු කිහිපයක් ඇත. මීට පෙර දුම්රියෙන් විශාල වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය වු බව අප සැම දන්නා කරුණකි. නමුත් පසුව ය ක්‍රමෙයන් අඩු වී ගියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම තුලද තිබුණේ දුම්රියෙන් වැලි ප්‍රවාහනය කර ලාබ ලැබීමය.

ඒ අනුව එරාවුර් සිට කිලෝමිටරයකට ( යාමට සහ ඒ්මට) රුපියල් 925 බැගින් වැලි ප්‍රවාහනය කිරීම ආරම්භ කළ අතර එහිදී මැති ඇමතිවරුන්ගේ ආධාරකරුවන් වැලි ප්‍රමිට් ගෙන නියමිත මුදලට වඩා අඩු මුදලක් ලබා දී වැලි ප්‍රවාහනය කර ගැනීම හේතුවෙන් එම ව්‍යාපෘතිය අසාර්ථක වී නවතා දමන්නට සිදු විය.

මේ අතර ඉන්ධන ප්‍රවාහනයද එක්තරා ඇමතිවරයෙකුගේ ගෝලයෙකු විසින් පවරා ගැනීම නිසා දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙන ඉන්ධන ප්‍රමාණය අඩු විය. වෙනදා දුම්රිය මඟ ගිය ඉන්ධන රැගත් දුම්රියන් අද යන්නේ කිහිපයක් පමණි. මෙලෙස ආදායම් ලැබිය හැකි අවස්ථා ගණනාවක්ම රජයේ මැති ඇමතිවරුන්ගේ වාසිය වෙනුවෙන් යටපත් විය.

එසේම පහුගිය 19 දා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණේද දුම්රිය දෙපාර්ත‌මේන්තුවේ රුපියල් ලක්ෂ 18 ක් අවභාවිතා වී ඇති බවකි. ඒ  දුම්රිය ස්ථානවල අඩුපාඩු මිලදී ගැනීම සඳහා වාර්ෂිකව වෙන්කෙරෙන මුදලින් 2018 වසරේ එම දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 18 කට මිලදී ගත් භාණ්ඩ කිසිවක් දෙපාර්තමේන්තුවට ලැබී නැති බවකි.

මේ සම්බන්ධව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ විධායකය හා ව්‍යවස්ථාධායකය එක් වී රටේ ආර්ථිකය හා දේශපාලන ස්ථාවරත්වය කඩා වට්ටන ස්වරූපයටම දුම්රිය දෙපාර්තමේන්තු පරිපාලනයද කඩා වැටීමට ඉඩ හැර, දුම්රිය සේවය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවය.

ඔවුන් පෙන්වා දෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනය, විනය පාලනය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවය. වසර ගණනාවක සිට පවතින අකාර්යක්‍ෂම කළමනාකරණය හේතුවෙන් දුම්රිය පරිපාලනයත්, දුම්රිය ධාවනයත්, මූල්‍ය කළමනාකරණයත් කඩා වැටී ඇති බවට චෝදනා කර සිටින දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ අමාත්‍යාංශ ලේකම් වරයාගේ සිට රාජ්‍ය සේවයේ පහලම සේවකයා දක්වා ක්‍රියාත්මක විය යුතු පොදු පරිපාලන ක්‍රමවේදයක් තිබුණද, එම ක්‍රමවේදය නොසලකා තීන්දු තීරණ ගැනීමට දුම්රිය බලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කිරීම, මෙම කඩා වැටීමට හේතුවී ඇති බව ඉතා පැහැදිලි බවය.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ඒ.එස්. විතානගේ මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත.

එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය බලධාරියා වන දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා, විනය පාලනය සම්බන්ධයෙන් ගන්නා තීරණ ආන්දෝලනාත්මක බවත්, සාමාන්‍ය සේවකයෙක් විනය විරෝධී විශමාචාර ක්‍රියාවක් කළ විට විනය නීති සංග්‍රහය අභිබවා ක්‍රියාත්මක වීමට පෙළඹෙන දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා, තමන්ට හිතවත් නිලධාරීන් සම්බන්ධයෙන් විනය නීති සංග්‍රහයේ වගන්ති නොසලකා කටයුතු කරන බවත් ගම්‍යමාන වේ. මේ තත්වය මත දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය පාලන කටයුතු, සේවක ප්‍රශ්න වලට විසඳුම් ලබාදීම, දුම්රිය ධාවන කටයුතු ධාවන කාල සටහන් අනුව පවත්වා ගෙන යාම, මූල්‍ය පාලන කටයුතු ද දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු විනය පාලන බලතල දුම්රිය දෙපාර්තමේන්තුවේදී ක්‍රියාත්මක කරන බලධාරියා දුම්රිය සාමාන්‍යාධිකාරී බව, දුම්රිය සාමාන්‍යාධිකාරීට නොතේරෙනවා යැයි කිසි විටෙකවත් විශ්වාස නොකරන බවත්, අත්තනෝමතික ලෙස කටයුතු කිරීම මගින් මුළු රාජ්‍ය සේවයම අගතියට හා අපකීර්තියට පත් කරන බවත්, මෙවැනි පාලනයක් එක් දවසක් හෝ කිසිදු රාජ්‍ය ආයතනයකට අවශ්‍ය නොවන බවත් සඳහන් කළ යුතුය.

වංචා සහගත ලෙස ඉන්ධන දීමනා ලබාගත් නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම, දෙපාර්තමේන්තුවට පාඩුවක් වන ලෙස වැලි ප‍්‍රවාහනය කිරීම, නිලවාහනය අවභාවිතා කළ නිලධාරීන් සම්බන්ධයෙන් නිසි විනය ක්‍රියාමාර්ග නොගැනීම, ප්‍රීමා පිටි ප්‍රවාහන දුම්රිය ප්‍රමාදවීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම, ප්‍රීමා සමාගමේ අනුග්‍රහයෙන් ත්‍රිකුණාමලය නිලාවෙලි හි දී පැවති මත්පැන් සාදයට තමන්ගේ නිලරථය යොදවා රාජකාරී වේලාව තුල නිලධාරීන් සහභාගී කරවීම මෑත කාලීන උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. මෙවැනි දූෂිත විනය විරෝධී කටයුතු සම්බන්ධයෙන්, දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් වරයාටත්, ප්‍රවාහන අමාත්‍ය වරයාටත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවටත් පැමිණිලි කර, විමර්ශන කටයුතු සිදු කරන ලෙස දන්වා සිටියත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ විෂයභාර අමාත්‍ය වරයා හෝ අමාත්‍යාංශ ලේකම් වරයා මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. රාජ්‍ය ආයතනයක් මේ ආකාරයෙන් කඩා වැටෙමින් තිබෙන බව ආණ්ඩුව හොඳින් තේරුම් ගත යුතුව තිබුණද එය සිදුවන්නේ නැත.

යහපත් දුම්රිය සේවයක් රටට උරුමකිරීමට නම් , වසර පහකට වරක් පත්වන තාවකාලික ආණ්ඩු පිළිබඳ විශ්වාසයක් නොතබා, දේශපාලන මතවාද, සංවාද සියල්ල පසෙක ලා එකමුතු වන ලෙස සියළු වෘත්තීය සමිති වලට ආරාධනා කර සිටිමු.

-ශානි-

Social Sharing
නවතම