කැබිනට් ඇමති කියන්නේ දැන් බෝඩ් ලෑල්ලක් විතරයි! – මහාචාර්‍ය එච්.ඩබ්ලිව් සිරිල්

මුලින්ම අපි කතා කළොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකුට රටේ ජනතාව තුළ නව බලාපොරොත්තුවක් ඇති වුණා. දැන් එතුමා ධුරයට පත් වෙලා වසරකට වැඩි කාලයක් ගත වෙලා. නැවත හිතලා බැලුවොත් මේ තිබුණු බලාපොරොත්තු ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

අවුරුද්දකට පස්සේ අපි ආපසු හැරිලා බලනකොට ඒ අවුරුද්ද අපිට එච්චර සතුටු වෙන්න පුළුවන් වාතාවරණයක් නැහැ. 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දීලා මේ රජය බලයට පත් කරගත්තේ විශාල බලාපොරොත්තු රාශියක් එක්ක. ඒ ගොල්ලන් රට වෙනත් මගකට අරගෙන යනවා කියලා කිව්වා. රට සංවර්ධනය කරනවා, නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. ඒ වගේ දහසක් බලාපොරොත්තු දීලා, නව නායකයෙක්, එඩිතර, දූෂණයෙන් – භීෂණයෙන් තොර අවංක නිලධාරියෙක් කියලා, වැඩ කරපු කෙනෙක් කියලා, තමයි බලයට ආවේ. දැන් දේවල් සිද්ධ වෙන්නේ කොහොමද? ඔහු තීන්දු තීරණ ගන්නේ කොහොමද? ඒවා දිහා බැලුවාම ඡන්දය දීපු කෙනෙකුටවත් සතුටක් නැහැ.

ඊට අමතරව ගෝඨාභය මහත්තයාට එකතුවුණා වියතුන් කියලා කොටසක්, ඒ අයත් සිස්ටම් චේන්ජ් එකක් ගැන තමයි කතා කළේ. හැබැයි එයාලගේ කතාත් නිකන් බොරු වෙලා ඉවරයි. පාර්ලිමේන්තුව ගත්තොත් මේ රටේ පාර්ලිමේන්තුවේ උගතුන්, අත්දැකීම් බහුල පුද්ගලයින් ඉන්න පාර්ලිමේන්තුවක් ද කියලා කියන්න බැහැ. ලැජ්ජයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඇමැතිවරු කියන පිරිස හැසිරෙන විදිහ දිහා බැලුවහම. පහුගිය දවස්වල අයවැය තිබුණා. මම නම් දැක්කේ නැහැ එකම කෙනෙක්වත් අය – වැය ගැන කතා කරනවා. මේ රටේ සංවර්ධන වැඩපිළිවෙළ ගැන කතා කරනවා. එක්කෙනෙක් තව කෙනකුට මඩ ගහනවා. එයා අනිත් කෙනාට මඩ ගහනවා. අසභ්‍ය වචනවලින් බැන ගන්නවා. පාර්ලිමේන්තුව කියන්නෙ රටේ සංවර්ධනය, පැවැත්ම, දියුණුව වෙනුවෙන් ප්‍රතිපත්ති හදලා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ඉතාම වැදගත් ආයතනයක්. හැබැයි ඒ කිසිම කෙනෙක් ප්‍රතිපත්ති ගැන කතා කරන්නෙ නැහැ. මං කියන්නේ එහෙම කතා කරන්න දැනුමක් තියෙනවද නැද්ද කියලා හිතාගන්න බැහැ. දැන් මේ උගතුන් ගිහින් ඉන්නවනෙ. ඒගොල්ලන්ගේ දායකත්වයක් අද වෙනකම් මටනම් පෙනිලා නැහැ. පාර්ලිමේන්තුවේ රැස්වීමක් තියනකොට ඒක නිකන් කාලගෝට්ටියකට සමානයි. ශබ්දය, එක්කෙනෙක් කතා කරන අවස්ථාවේ එයාට විරුද්ධව මඩ ගහන එකයි, ඔහුට බාධා කිරීමයි. ඒ ඇරෙන්න සක්‍රීය දායකත්වයක් ඇත්තෙම නැහැ.

වර්තමානයේ ඇතිවුණ සිදුවීම් බලද්දි රජය පැත්තෙන් වුණත් සාමූහික තීරණ ගැනීමක් දකින්න නැහැ නේද? මේ ප්‍රශ්න වලට රජයේ නිසි මැදිහත් වීමක් සිදු නොවන එක ඔබ කොයි ආකාරයට දකින්නෙ?

අපි බැලුවොත් එහෙම, පහුගිය කාලේ කරපු දේවල් පරිසරය පැත්තෙන් ගත්තොත් ඉතා විශාල හානියක් කරගෙන යනවා. රජය නොදැනුවත්ව වෙන්න නම් බැහැ. මොකද කැලේ කපන කොට ඉඩම් විශාල වශයෙන් එළි පෙහෙලි කරගෙන යනකොට එක නොපෙනෙන්න විදිහක් නැහැනේ. ඒ වගේම තියෙන ආරංචි අනුව, ලැබෙන තොරතුරු අනුව රජයට සම්බන්ධ කමක් තියෙන පුද්ගලයෝ රජයේ හයිය අරගෙන තමයි ඒ පරිසර හානිය කරන්නේ කියලා පැහැදිලිව පෙනී යනවා. සිංහරාජය හරහා පාරක් නිර්මාණය කරනවා කිව්වා. පාරවල් තියෙන්න ඕනේ. ඒ දේවල් දියුණු කරන්න ඕනේ තමයි. හැබැයි සිංහරාජය සලකන්නෙ ලෝක උරුමයක් හැටියට. ඒ වගේ තැනකට හානියක් නොවෙන හැටියට තමයි ඒ වැඩ කටයුතු කරන්න ඕන. සියලු දෙනාගේම සහභාගීත්වය අරගෙන පරිසරවේදීන්, පරිසර හිතකාමී පුද්ගලයෝ, ඒ රජයේ නිලධාරීන් එකතුවෙලා තමයි මේ කාර්යය කරන්න ඕන. එහෙම නෙමෙයි දැන් දේවල් සිද්ධ වෙන්නේ. රටේ නායකයා ගිහින් කියනවා. ඔව් මේක කරන්න. ඒ වගේ දෙයක් අපි ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. ඔහු ඇවිල්ලා සියලු දෙනාගේම අදහස් අනුව සර්ව-සාධාරණව වැඩ කරයි කියලා බලාපොරොත්තු වුණේ. නමුත් දැන් පේන්නේ එහෙම නෙමෙයි. ඔහුට ඕනෑ දෙය තමයි කරන්නෙ. ඒක ඉතාම අයහපත් තත්වයක්. දැන් බැලුවොත් සිංහරාජය, එතකොට රැම්සාස් සම්මුතියට අයත් ආනවිලුන්දාව තෙත් බිම්, දහයියාගල, සීතලවන්නිය පැත්තේ කෙරෙන වන විනාශයන්, මේවා විනාශ කරන විට පරිසරවේදීන් කොයිතරම් හඬ නැඟුවත් ඒවා නවත්වන්න කිසිම උත්සාහයක් නැහැ. ඊළඟට හන්තාන කැලෑ එළිපෙහෙළි කරලා එනසාල් වවන ව්‍යාපෘතියක් යනවා. විල්පත්තුවේ කැලෑ එළි කරනවා. හොරොව්පතාන රත්මලේ රක්ෂිතය. දැන් සමාජ මාධ්‍ය ඔස්සේ මේවා ප්‍රසිද්ධියටත් පත්වෙනවා. හැංගි හොරා නෙමෙයි මේ දේවල් සිද්ධවෙන්නේ.

කිරින්දේ කඩොලාන අක්කර තිහක් සුද්ද කරලා. මේ කඩොලාන වැනි දේවල් පරිසර පද්ධතිය තුළ තියෙන්නම ඕන දේවල්. සමහර මන්ත්‍රීවරුන් අහනවා කඩොලාන වලින් ලැබෙන ඔක්සිජන් වල ඵලය මොකක්ද කියලා. ඔක්සිජන් වල තියෙන වටිනාකමවත් දන්නෙ නැති පුද්ගලයන් තමයි දැන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. වනාතවිල්ලුවේ එළුවන්කුලම අක්කර සීයක් එළි කරලා තියෙනවා. මුතුරාජවෙල බලහත්කාරයෙන් සමාගමකට පවරලා එළි කරගෙන යනවා. ඒ වගේ විශාල වශයෙන් පරිසර හානි කරගෙන යනවා. ඒවා නවත්තන්න පරිසර ඇමති කෙනෙක් එහෙමත් ඉන්නව රටේ. නමුත් කිසිම මැදිහත් වීමක් වෙන්නේ නැහැ. එහෙම කියන්නේ මේ පරිසර විනාශයට දායකවෙලා ක්‍රියාකාරීව ඉන්නෙ ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල පුද්ගලයෝ. ඒකයි මේ ආණ්ඩුවට අවශ්‍යතාවක් නැත්තේ ඒවා නවත්තන්න.

මේ දේවල් වෙන්න එක හේතුවක් තමයි මං කියන්නේ විසිවෙනි සංශෝධනය ගෙනල්ලා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ වෙනස් කරල විධායක බලතල නැවත වතාවක් ජනාධිපතිවරයා වෙත පවරා ගැනීම. දැන් පාර්ලිමේන්තුවට බලයක් නැහැ මේවා නවත්වන්න. මොකද තනිකර ජනාධිපතිතුමාට ඕන විදිහට තමයි මේ දේවල් වෙන්නෙ. ඇමතිවරු හිටියට අර බෝඩ් ලෑල්ලකට සීමා වෙච්ච ඇමතිවරු තමයි ඉන්නේ. ඒගොල්ලන්ට හැකියාවක් නැහැ මේවා ගිහින් හොයල බලල අවශ්‍ය කරන තීන්දු තීරණ ගන්න. ඒ කියන්නේ ඇත්තටම පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ට කරන්න කාර්යක් නැති මට්ටමට පත් වෙලා තියෙනවා. ඒ විසිවෙනි සංශෝධනය හින්දා. ඒකෙන් කිව්වේ මේ රටේ නායකයාට සියලු බලතල දුන්නොත් මේ රට සුරපුරයක් කරන්න පුළුවන්. රට වේගයෙන් සංවර්ධනය කරා යන්න පුළුවන් කියලා. හැබැයි එහෙම දෙයක් වෙන්නෙ නැහැ. මේ කරන වැරදි වැඩ වලට වග කියන්න ඕනේ මේකට දායක වුණ කට්ටිය.

අනිත් දෙය පාර්ලිමේන්තුව තමන් සතු බලතල වෙන කෙනෙකුට කැමැත්තෙන් දෙන්නේ මන් දන්නෙ නැහැ ඒ අයගේ මොළයේ යම් අඩුපාඩුවක් තියෙනවද කියලා. දැන් හිටිය මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් විසි වෙනි සංශෝදනයට විරුද්ධව කතා කරනවා. හැබැයි ඡන්දෙත් දෙනවා. මේ හිටපු වාමාංශිකයොත් කතා කරද්දි කියනවා අපි මේකට විරුද්ධයි. මේ වගේ හානිකර තත්ත්වයක් තියෙනවා කියලා. හැබැයි ඡන්දෙදි ඒ අයගේ ඡන්දයත් ලබා දෙනවා. ඉතිං අදහා ගන්න බෑ මේ අය මොනවටද විරුද්ධ කියලා. දැන් විරුද්ධ නම් ඡන්දය විරුද්ධව පාවිච්චි කරන්න ඕනේනෙ. ඒ වගේ කොටසක් තමයි අද පාර්ලිමේන්තු ඉන්නේ. කියන දේ නෙවෙයි කරන්නේ. කරන දේ නෙවෙයි කියන්නේ. තාම හිතන්නේ ඇත්තටම මේ රටේ මිනිස්සු මෝඩයෝ. අපි කියන ඕනෙම දෙයක් පිළිගන්නවා කියලා.

පසුගිය අයවැයේ දී කියවුණා රුපියල් 1000ක වතු කම්කරු ඉල්ලීම ලබා දෙනවා කියලා. අයවැය සම්මත වුණාට පස්සේ දැන් තියෙන්නේ වෙන කතාවක්..

අපි හිතන්නේ පාර්ලිමේන්තුවට තමයි මුදල් පාලනය පිළිබඳ බලය තියෙන්නේ කියලා. එතකොට පාර්ලිමේන්තුවෙ අය-වැය කියවීමකින් බලාපොරොත්තු වෙන්නේ රටේ සංවර්ධනය ගැන දියුණුව ගැන කතාවක්. අයවැයකදී අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍යය ඔය වගේ වැදගත් අංශ ගැන නොතකා ඉන්න බැහැ. ඒවයින් අපි බලාපොරොත්තු වෙනවා සීග්‍ර සංවර්ධනයක්. හැබැයි පහුගිය ඉදිරිපත් කරපු අය-වැයෙන් කිසිම සැලැස්මක් ඉදිරිපත් වුණේ නැහැ. ඒ වෙනුවට විවිධ කතන්දර ගොඩක් විතරයි පාර්ලිමේන්තුවට ආවේ. අඩුම ණය වාරිකය ගෙවාගන්නේ කොහොමද කියන එකටවත් නිසි සැළැස්මක් නැහැ.

හිටි ගමන් කියනවා රුසියාව ලබා දෙන වෛද්‍ය උපාධි මේ රටේ පිළිගන්නේ නැහැ කියලා. සුමානයක් ගිහිල්ලා කියනවා නැහැ අපි ඒවා පිළිගන්නවා කියලා. මේ කියන කරන දේවල් විහිලුවක් තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. හිතලා බලන්නේ නැතුවද මේ අය තීරණ ගන්නේ?  එක් අවස්ථාවක කිව්ව හරක් මරන එක තහනම් කරනවා කියලා, හැබැයි පස්සේ කියනවා මාසෙකට පස්සේ අපි මේක නැවත සලකා බලනවා කියලා. මට තේරෙන්නෙ ගව ඝාතනය නැවැත්වීම ක්‍රමානුකූලව කරන්න ඕනි දෙයක්. නමුත් මේක තහනම් කළොත් එහෙම ලංකාවේ කිරි නිෂ්පාදනයට මරු පහරක් එල්ල වෙන්නෙ. ඒකට හේතුව ඉපදෙන සත්තුන්ගෙන් 50% ක් ගැහැණු 50% ක් පිරිමි. ගැහැනු සතුන්ගෙන් කිරි ගන්නවා. පිරිමි සතුන්ගේ කිරි ගන්න බැහැ. එතකොට ඒ පිරිමි සත්තුන්ගෙන් වෙනත් ප්‍රයෝජනයක් තමයි ගන්න වෙන්නේ. වෙනත් ප්‍රයෝජනයක් කියන්නේ මසට ගැනීම. ඒ වගේම එළදෙනෙක් වුණත් කිරි මුර පහක් දුන්නට පස්සේ ඔවුන්ගේ නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනයක් නැති සතෙක් නඩත්තු කරද්දි නිෂ්පාදනයක් තියෙන සතුන්ගේ වියදමට ඒ වියදමත් එකතු වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදනය නොකරන සතෙකුත් අපිට නඩත්තු කරන්න වෙනවා. අනවශ්‍ය සතුන් නඩත්තු කරනවා කියන්නේ කිරි නිෂ්පාදන වියදම ඉහළ යනවා. එතකොට ඒකෙන් ලාභයක් ගන්න නම් අනවශ්‍ය සත්තු මරාදමන්න වෙනවා. ඒක ලෝකයේ කොහෙත් කරන දෙයක්.

ඉන්දියාව තමයි ලෝකයේ ප්‍රධානතම මස් නිෂ්පාදකයා. ඉන්දියාව ඔවුන්ගේ හින්දු ආගම මත පදනම් වෙලා මෝඩ තීරණ අරන් නැහැ. ඒක රටේ සංවර්ධනයට බාධාවක් කරගෙන නැහැ. අපේ රටේ තමයි මිනිසුන්ගේ හිත දිනාගන්න, මිනිස්සු රවට්ටන්න ඒ වගේ අනවශ්‍ය තීන්දු තීරණ ගන්නේ.

රටේ නීතිය ක්‍රියාත්මක වීමේ දී විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා චෝදනාවක් තියෙනවා. ඒ වගේම බරපතළ චෝදනා තියෙන පුද්ගලයින් හිරෙන් නිදහස් කිරීම ගැනත් කතා බහක් ඇතිවෙලා තිබෙනවා. මේ දේවල් එක්ක බලද්දි ඉදිරියට මොන වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද?

මේක විහිලුවක් කියන්නේ අපිට සාමාන්‍ය ජනතාව වශයෙන් සාධාරණ සැකයක් එනවා මොකක්ද මේ වෙන්නේ කියලා. අර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉන්නවා රත්නපුර දිස්ත්‍රික්කයේ මිනීමැරුම් චෝදනාවකට හිරේ ගියපු. එයා පාර්ලිමේන්තුව ඉන්නවා. එතකොට පාර්ලිමේන්තුව කියන්නේ මොකක්ද? පාර්ලිමේන්තුව තමයි නීති සම්පාදනය කරන්නේ, ඒවට දායක වෙන්නේ. එතකොට හිරේ ඉන්න කෙනෙක් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්නව නම් මොකක්ද පාර්ලිමේන්තුවේ තත්ත්වය. සිල් රෙදි නඩුවේ කට්ටිය නිදහස් වුණා. බැසිල් රාජපක්ෂ මහත්මයා නිදහස් වුණා. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා නිදහස් වුණා. අපිට සැකයක් තියෙනවා ඔය නම් කියවෙන අනික් අයත් ඉදිරියේදී නිදහස් කරයි කියලා. මේ වෙන්නේ මොකද්ද මිනිස්සු පුදුමයෙන් තමයි අධිකරණය දිහා බලාගෙන ඉන්නේ.

සියලු දෙනාම කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා වගේ නෙමේ කියලා. ඔහු නෑදෑයින්ට සලකන්නේ නැහැ කියලා කියලා තමයි ඒ කාලේ කිව්වේ. දැන් බලද්දි ආපහු පරණ ඥාති සංග්‍රහයම තමයි තියෙන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පහු උනහම තිබ්බේ කසාගල තමයි පිටවීමේ මාර්ගය විදියට. හැබැයි මේ රජයේ ආපු ගමන් මැදමුලනට යන්න පිට වීමේ මාර්ගයක් හැදුවා. එහෙම එක ලගින් ඇතුල්වීමේ පිටවීමේ මාර්ග හදනවා නම් ඒක හයිවේ එකක් නෙවෙයි නේ. ඒකත් සාමාන්‍ය මාර්ගයක්. එතකොට අර තමන් වෙනුවෙන් රාජ්‍ය සම්පත්, බලය ඒ හැම දෙයක්ම යොදනවා වගේ එකක් නේ පේන්නේ. පටන් ගන්නකොටම මෙහෙම නම් ඉස්සරහට මේ තත්ත්වය මීට වඩා භයානක වෙන්න පුළුවන්. මොකද අපිට පේන්නෙ නැහැ නිකං එක්කෙනෙක්ටවත් පැහැදිලි ප්‍රතිපත්තියක්, හරි ක්‍රියාදාමයක්, හරි සැලැස්මක් තියෙනවද කියලා.

Social Sharing
නවතම සාකච්ඡා