කොවිඩ් නව වෛරස් ප්‍රභේදයට මුහුණ දීමට ලංකාව සුදානම්ද?

බ්‍රිතාන්‍යයෙන් හා වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය මේ වන විට යුරෝපීය රටවල් ඇතුලු රටවල් 40 කට  ආසන්න සංඛ්‍යාවකට පැතිර ගොස් තිබේ. අනෙක් රටවල්ද මේ වෛරසය නිසා සිටින්නේ දැඩි අවධානමකය. ශ්‍රී ලංකාවද එලෙසමය.

මේ නව වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වළක්වා ගැනීමට මේ වන විට බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන ගුවන් ගමන්ද අත්හිටුවා ඇත. එමෙන්ම විදේශීය සංචාරකයින් සඳහා මෙරට ගුවන් තොටුපළ යළි විවෘත කිරීම දින කිහිපයකට කල් ගොස් ඇත. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් විදේශීය සංචාරකයන්ට පනවා තිබූ සීමා ඉවත් කරමින් අද (26) සිට විදේශීය සංචාරකයින්ට රට විවෘත කිරීමට බලධාරීන් මීට පෙර තීරණය කර තිබුණි.

ඒ අනුව රුසියානු ජාතිකයින් පිරිසක් පළමුව අද දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබූ අතර යුරෝපා කලාපයේ පැතිර යන කොරෝනා නව වෛරස් ප‍්‍රභේදය හේතුවෙන් එම කණ්ඩායම සංචාරය දින නියමක් නොමැතිව කල් දමා ඇත.

මැද පෙරදිග රට වලින් පැමිණීමේ අවධානමක්!

නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මෙම කරුණු පමණක් ප්‍රමාණවත් නොවන බවය. මැදපෙරදිග රටවල සිට පැමිණෙන පුද්ගලයින් හරහාද මෙම නව වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුලු වීමේ අවධානමක් ඇති බව එම සංගමය කියා සිටියි.

ලංකාවේදී හඳුනා ගත හැකියි.

මේ නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය සතුව තිබෙන බවත් ඒ නිසා එම නව ප්‍රභේදය සම්බන්ධයෙන් කිසිවෙකුත් බිය විය යුතු නැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර සිටියි.

නව වෛරසය ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා ජාන විද්‍යාත්මක වි‍ශ්ලේෂණයක් සිදු කළයුතු බවත් ඊට අවශ්‍ය පහසුකම් මෙරට තුළ පවතින බවත් ඔහු පවසයි.

ලංකාවට පහසුකම් නැහැ.

නමුත් වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ නව කොවිඩ් ප්‍රභේදය ඇතුළු මෙම වෛරසයෙහි නව ප්‍රභේද හඳුනාගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන ජාන විශ්ලේෂක යන්ත්‍ර ( genetic sequencing analyzers) එකක්වත් ශ්‍රී ලංකාව සතුව නොමැති වීම අතිශයින්ම බරපතළ තත්වයක් බවය.

මෙම යන්ත්‍ර මෙරටට ගෙන්වීම සඳහා අවස්ථා තුනකදී සූදානමක් පැවතියත් මෙරට කොවිඩ් සහමුලින්ම තුරන් කළැයි වහසිබස් දෙඩූ ඇතැම් බලධාරීන් නිසා එය සිදු නොකෙරුණු බවයි ඒ මහතා සඳහන් කළේ.

genetic sequencing එහෙම නැත්නම් ජාන විශ්ලේෂක යන්ත්‍රයක් කියන එකක් රටකට මෙන්ම  රජයේ රසායනාගාරයකට අත්‍යාවශ්‍ය බවත් ඒ කටයුත්ත අවස්ථා තුනකදී සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ඊට අදාළ විශේෂඥ වෛද්‍යවරුන් හෝ මගහැර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

Social Sharing
නවතම