අයවැය යෝජනාවට බිලි වූ මහජන උපයෝගිතා කොමිසම

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (Public Utility Commission of Sri Lanka / PUCSL) වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දෙමින් ලිපියක් යවා තිබුණේ ඉකුත් දෙසැම්බර් 01 දාය.

මෙම ලිපිය යොමු කරමින්, ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී තිබුණේ, අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අයවැය යෝජනා අනුව යමින්, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වසා දැමීමට තමා උපදෙස් දෙන බවය.

මෙම ලිපියෙන් දින කිහිපයකට පසු එම කොමිසමේ සියලු දෙනාම ඉල්ලා අස් විය. මේ සම්බන්ධයෙන් සිවිල් සමාජයේත්, දේශපාලන වේදිකාවේත් දැඩි කථාබහක් හට ගත් අතර මෙහි විශේෂම සිදු වීම වුයේ මේ ලිපිය සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයා කිසිවක් දැන නොසිටීමය.

විදුලිබල ඇමති

”දැන් අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරයට සංශෝධනයක් තමයි සිද්ධ වෙන්නේ. එතුමා පැහැදිලිවම කතා කරාමත් කිව්වේ අයවැය ලේඛනය තුළ ප්‍රකාශ කළ ආකාරයේ සංශෝධනයක් තමයි සිද්ධ වෙන්නේ කියලා. දැන් ආචාර්ය ජයසුන්දර මැතිතුමා ඒ ආපු ලියුම අපිත් එක්ක සාකච්ඡා කරලා අපි දැනුවත් වෙලා යවපු ලියුමක් නෙවෙයි. කෙසේ වෙතත් මේකේ අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යම් නියාමනයක් අවශ්‍යයි” යනුවෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර තිබුණි.

මොකද්ද මේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් මෙරට විදුලි බල කර්මාන්තය සහ විවිධ උපයෝගිතාවන් නියාමනය සඳහා පිහිටුවන ලදී.

බලතල ලැබීම

2002 වසරේ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කෙරෙන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමට, විදුලිබල ක්ෂේත්‍රයේ නියාමනය පැවරෙන්නේ, 2009 /අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනතිනි. එම පනතේ ප්‍රමුඛ අරමුණ අඩු පිරිවැය දිගු කාලීන විදුලි ජනන සැලසුම් රට තුළ ක්‍රියාත්මක කිරීමයි.

ලංකා විදුලි පොදු සේවක සංගමය

මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වසා දැමීමට ජනාධිපති ලේකම්වරයා උපදෙස් දීම සම්බන්ධයෙන් ලංකා විදුලි පොදු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරන ලදි.

එහි දැක්වෙන්නේ කොමිෂන් සභාව වසා දැමුවහොත් ඉදිරියේදී අධික මිලට විදුලිය මිලදී ගැනීමකටත්, එහි බර පාරිභෝගිකයා මත පැටවෙන විදුලි ගාස්තු ඉහළ දැමීමකටත්, මග පාදන්නක් බැවින් එමගින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද යන සැකය තම සංගමයට පවතින බවයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට මහජන සුබසිද්ධිය වෙනුවෙන් තීරණ ගැනීමට ලබා දුන් බලය අව භාවිත කරමින්, ජනාධිපති ලේකම්වරයා සැරසෙන්නේ ව්‍යවස්ථාදායක බලය හෑල්ලුවට ලක් කරමින් ජනාධිපතිවරයාට ඇති මහජන විස්වාසය පළුදු කිරීමටදැයි එම සංගමය ප්‍රශ්න කරයි.

සංගමය විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ විදුලි උගුල් අටවන්නන්ගේ මහා පරිමාන මංකොල්ලයට තිත තබා විදුලිබල කර්මාන්තය නිසි මග ගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව රැක ගැනීමට පෙරට එන ලෙසය.

පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිහිටුවනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් අනුව බවත්, එවැනි පනතක් අහෝසි කිරීමට නම් පළමුව කැබිනට් අනුමැතිය ලබා ගත යුතු අතර පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනිම අවශ්‍ය බවත් එසේ නොකර ජනාධිපති ලේකම්ට හෝ භාණ්ඩාගාරික ලේකම්ට මෙවැනි පනතක් අහෝසි කිරීමට හැකි නම් පාර්ලිමේන්තුවක්වත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත්  අවශ්‍ය නොවන බවත් සාධාරණ සාමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරු ජයසුරිය මහතා පහුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණි.

ජනාධිපති ලේකම්වරයාගේ නියෝගය හරහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අහෝසි කිරිම නීති විරෝධි බවත් එසේ කීරිමට ජනාධිපතිවරයාටවත් බලයක් නැති බවත් මෙය පාර්ලිමේන්තුවට කළ දැඩි අපහාසයක් ලෙස දකින බවද ඔහු වැඩිදුරටත් කියා තිබුණි.

මහජන උපයෝගීතා කොමිෂන් සභා සේවක සංගමය

ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා සේවක සංගමය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී සිටින්නේ මෙම කොමිෂන් සභාව වසා දැමීම අයවැය කතාවට හුදෙක්ම වෙනස් වු එකක් බවය.

මෙම කොමිෂන් සභා පනත හා විදුලිබල පනත වෙනස් කිරීමට ඇවැසි නම් නව විදුලි බලාගාර ඉදිකිරීම හෝ විදුලිය මිලදි ගැනිම සම්බන්ධව විදුලිබල පනත මඟින් කොමිෂන් සභාවට පවරා ඇති බලතල අවම කිරිමකට හෝ වෙනත් ආයතනයකට පවරා ගැනීමට විදුලිබල පනතේ 43 වන වගන්තිය සංශෝධනය කිරිම ප්‍රමාණවත් බවද එහි සඳහන් කර ඇත.

විදුලි ජනන සැලසුම් ක්‍රියාත්මක කර ඇතැයි ඇතමුන් නඟන චෝදනා පදනම් විරහිත අසත්‍ය චෝදනා බවත් 2016-2020 කාලය තුල ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති මෙගාවොට් 300 ක ප්‍රධාන ජල විදුලි බලාගාර තුනෙන් දෙකකට අනුමැතිය ලබා දී ඇතැයිද එම ලිපියෙන් පෙන්වා දි ඇත.

මෙගාවොට් 1841 ක අනවශ්‍ය සහ විදුලිබල පනත උල්ලංඝනය කෛරන හදිසි සහ දිගු කාලීන නොවන විදුලි මිලදි ගැනීම් සඳහා යෝජනා 16 ක් 2016-2020 අතර කාලය තුල කොමිසමට ලැබි ඇතත් ඉන් යෝජනා 14 ක් සඳහාම අනුමැතිය ලබා දී නොමැති බවද මේ නිසා රැපියල් බිලියන 571 ක් ජනතාවට ඉතිරි කර දීමට හැකියාව ලැබී ඇතැයිද  මහජන උපයෝගීතා කොමිෂන් සභා සේවක සංගමය කියා සිටියි.

එමෙන්ම මෙගාවොට් 680 ක් ජනනය කිරිමට සැලසුම් කළ විදුලිබලාගාර 10 ක ඉදිකිරිම් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රමාද කර ඇතැයිද පෙන්වා දි ඇත.

මෙම කරුණු අමාත්‍ය මණ්ඩල සංදේශයේදී සැලකිල්ලට ගන්නා ලෙසත් මෙයට අදාලව සාක්ෂි ඉදිරිපත් කිරිමට හැකියාව ඇති බවත් එම ලිපියෙන් වැඩි දුරටත් කියා ඇත.

-ශානිකා-

Social Sharing
නවතම