කොමිෂන් සභා අහෝසි කරන්න බලයක් ලේකම්ලට තිබේනම්,  පාර්ලිමේන්තුවක් කුමටද? : කරූ

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිහිටුවනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් අනුව බවත්, එවැනි පනතක් අහෝසි කිරීමට නම් පළමුව කැබිනට් අනුමැතිය ලබා ගත යුතු අතර පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය බවත් එසේ නොකර ජනාධිපති ලේකම්ට හෝ භාණ්ඩාගාරික ලේකම්ට මෙවැනි පනතක් අහෝසි කිරීමට හැකි නම් පාර්ලිමේන්තුවක්වත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත්  අවශ්‍ය නොවන බවත් සාධාරණ සාමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරූ ජයසුරිය මහතා පවසයි.

20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව නව පාර්ලිමේන්තු කොමිෂන් සභා හතක් පත් කර ඇති අතර ඒ කොමිෂන් සභා දැන්  ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇති නමුත්  මේ කොමිෂන් සභා තුලින් ඒ බලාපොරොත්තු වූ සේවය, බලාපොරොත්තු වූ ස්වාධීනත්වය ඉෂ්ඨ වෙනවාද යන්න සිතා බැලිය යුතු බව ඔහු පවසයි.

පැරණි ක්‍රමය තුල එනම් 19 වෙනි සංශෝධනය තුල විධායකයට තනි තීරණ ගැනීමට කිසිඳු අවස්ථාවක් නොතිබුණු අතර උසස් පත්වීම් සිදු කීරිමේදී විද්වත් අදහස්, බහුවිධ අදහස් විමසීමක් තිබු බැවින් එදා පරිසරය තුල නුසුදුසු පත්වීම් ක්‍රියාත්මක නොවුනු බවද මෙය ශිලාචාර, දියුණු, ප්‍රජාත්‍රන්තවාදි රටවල පැවැත්වෙන ක්‍රමවේදය බවද ඔහු සිහිපත් කරයි.

එමෙන්ම මේ ස්වාධීන කොමිෂන් සභා තුලින් මුලු රාජ්‍ය ත්‍රන්ත්‍රයම නිර්දේශපාලනීකරණය වූ බවත් මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු වූ අතර නමුත් පහුගියදා පත් වූ කොමිෂන්  සභා හරහා මේ නව පත්වීම් තුල මහජනතාවගේ  බලාපොරොත්තු ඉෂ්ඨ වන්නේද යන්න සැකයක් පවතින බවද හෙතෙම කියයි.

ස්වාධීන කොමිෂන් සභාවට යම් සාමාජිකයෙකු පත් කරන්නේ නම් එකී සාමාජිකයා සම්පුර්ණයෙන්ම දේශපාලනයෙන් බැහැරව, ස්වාධීන, නිදහස්මතධාරී පුද්ගලයෙකු විය යුතු බව පෙන්වා දෙන කරූ ජයසුරිය මහතා කියා සිටින්නේ එදා තිබු මානව හිමිකම් කොමිෂන් සභාව, තොරතුරු කොමිෂන් සභාව, මැතිවරණ කොමිසම ආදී කොමිසම් සභා අන්තර්ජාතික ගෞරවයට පත් වු බවය. කොවිඩ් වසංගතය වැනි බාධක මැද මැතිවරණ කොමිසම ක්‍රියා කළ ආකාරය ඉතාම විශිෂ්ඨ බවද කියා සිටියේය.

නමුත් පහුගියදා පත් කළ සමහර නම් දුටු විට පූර්ණ වශයෙන් එකඟ වීමට නොහැකි බවද ඒ නම් උදේ, දවල්, රෑ දේශපාලනය කළ, දේශපාලනය කරන, දේශපාලනය කිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන චරිත කිහිපයක් ඒ අතර සිටින බවද මෙයට සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය චැඩි බලවත් විරෝධයක් පළ කර සිටිවා යැයිද ඔහු පවසයි.

එමෙන්ම ස්වාධීන, අපක්ෂපාති මැතිවරණයක් පැවැත්වීමට නම් මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම වැනි ස්ථානයන්ට පූර්ණ ස්වාධීනත්වයක් තිබිය යුතු අතර ඒවාට දේශපාලන සබඳතා ඇති පුද්ගලයින් පත් කීරිම තුලින් අප අන්තර්ජාතිකව උපයාගත් ගෞරවය අපිට අහිමි වී යා හැකි බවද මේ තුලින් අපට ආර්ථිකයට, ආයෝජනයට හානි කර විය හැකි යැයිද කරු ජයසුරිය මහතා පවසයි.

මේ පත් කිරීම් වලට එරෙහිව විපක්ෂයත්, සිවිල් සංවිධානත් විරෝධය පළ කළ නමුත් ඊට රජය ඇහුම්කන් නොදුන් බවත්, මෙයට ඉදිරියේදී සමාජ විරෝධයක් පැමිණියහොත් ඊට පුදුම වන්නට දෙයක් නැතැයිද ඔහු කියා සිටියි.

ජනාධිපති ලේකම්වරයාගේ නියෝගය හරහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අහෝසි කිරීම නීති විරෝධි බවත් එසේ කීරීමට ජනාධිපතිවරයාටවත් බලයක් නැති බවත්, මෙය පාර්ලිමේන්තුවට කළ දැඩි අපහාසයක් ලෙස දකින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ ජානකී හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

-ශානිකා-

Social Sharing
නවතම