බන්ධනාගාරයන් තුළ සිදු වූ ඝාතනයන් ශ්‍රී ලංකාව මානව හිමිකම් දර්ශකයේ පහළට ගෙන යාමක් – SLCAT කියයි

මහර රැඳවියන් මිය ගියේ කෙසේ දැයි ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු රටට හෙළි කරන ලෙසත් මෙම සිදුවීම සම්බන්ධ පරීක්ෂණයන් විනිවිද පෙනෙන ආකාරයෙන් හා ස්වාධීනව පැවැත්වීම වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමක් බවද වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා  එකමුතුව පවසයි.

72 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත.

එහි සම්බන්ධිකාරක ඇන්තනි විනොත් මහතා විසින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

පසුගිය නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමේ අරමුණින් යැයි පවසමින් රැඳවියන් 11 දෙනෙක් ඝාතනයට ලක් කිරීම හා රැඳවියන් 107 දෙනෙක්ට තුවාල සිදු කිරීම පිළිබඳ වදහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතු‍වේ දැඩි අවධානය යොමු වී ඇත.

ප්‍රථමයෙන්ම එකී සිදුවීම හේතුවෙන් මිය ගිය රැඳවියන්ගේ ඥාතීන් වෙත අපගේ බලවත් ශෝකය පළ කරන අතර තුවාල ලැබූ සියළු රැඳවියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. මෙම සිදු වීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාටද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව පිළීබඳ සම්පූර්ණ වගකීම ඇත්තේ රජයට බවත් අප අවධාරණය කරන අතර ඒ හේතුවෙන් බන්ධනාගාරය තුළ ඇති වූ තත්වය පිළිබඳ විශ්වසනීය පැහැදිලි කිරීමක් රජය විසින් සිදු කල යුතු බවත් අප විශ්වාස කරමු. ‍

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයන්හි අධික තදබදයක් පැවතීම කලක් සිට දිග්ගැස්සුණු ප්‍රශ්නයක් බවත් ඒ සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර සිවිල් සංවිධාන අවස්ථා ගණනාවකදීම රජයට කරුණු දක්වා ඇති බවත් අප මෙහිදී සිහිපත් කරමු.

බන්ධනාගාර තදබදය අවම කිරීමට තිරසාර විසඳුමක් ලබා දීමට කටයුතු කරමින් තිබුණි නම් කොවිඩ් 19 වෛරසය බන්ධනාගාරයන්ට ඇතුල් වීම මෙතරම් අවදානමක් ඇති නොකරනු ඇත යන්න අපේ විශ්වාසයයි.

ඉතා වේගවත් ව්‍යාප්තියක් සහිත වෛරසය බන්ධනාගාර තුළට ඇතුල් වීම තුළ රැඳවියන් අතර නොසන්සුන්තාවයන් ඇති වනු ඇති බවට රජය වෙත සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඇතුළු සිවිල් සංවිධාන අවස්ථා කීපයකදී දැනුම් දී ඇතත් රජය විසින් ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම මෙම තත්වයට හේතු වූ බව අප අවධාරණය කරමු.

මේ වන විට ලංකාවේ බන්ධනාගාර කිහිපයකම නොසන්සුන්තාවයන් වර්ධනය වී ඇත.

කොවිඩ් වෛරසයේ පළමු ව්‍යාප්තිය සමයේ මෙවැනිම තත්වයක් අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ අවස්ථාවේදීද නොසන්සුන්තාවය පාලනය කිරීමේ නාමයෙන් ජීව උණ්ඩ යොදා කල වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙකුට ජීවිතය අහිමි විය.

බෝගම්බර බන්ධනාගාරයේද පසුගිය නොවැම්බර් 18 වන දින සිදු කල වෙඩි තැබීමෙන්ද එක් රැඳවියකුගේ ජීවිතය අහිමි විය. විශේෂයෙන් ශ්‍රී ලංකා අණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) ව්‍යවස්ථාව ප්‍රකාරව කිසිදු තැනැත්තකු නිසි අධිකරණයකින් කරනු ලැබූ ආඥාවකින් අනුව මිස මරණීය දණ්ඩනයට යටත් කළ නොහැකි බවත් අප නැවතත් අවධාරණය කරමු.

කෙටි කලක් තුළදී බන්ධනාගාරයන් තුළ සිදු වූ ඝාතනයන් ශ්‍රී ලංකාව මානව හිමිකම් දර්ශකයේ පහළට ගෙන යන අතර ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ගෞරවයට බරපතළ ලෙස හානි කරවන බවත් අප රජයට අවධාරණය කරමු.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කළමණාකරණ නව අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ වෙඩි වැදීමකින් කිසිදු රැඳවියකු මිය ගොස් නැති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණ එළිදරව් කිරීමටත් පෙර විෂය භාර අමාත්‍යවරයා විසින් සිදු කරන ලද මෙම ප්‍රකාශය අසත්‍යයක් බව තහවුරු කරමින් දෙසැම්බර් 08 වන දින වැලිසර මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ මෙම සිදුවීමට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිතුමා වෙනුවෙන් පැමිණි රජයේ නීතිඥවරිය වෙඩි තැබීමක් සිදු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍වේ විමර්ශන මගින් එළිදරව් වී ඇති බව ගරු මහේස්ත්‍රාත්තුමාට දන්වා ඇති බව පෙන්වා දෙන්නේ ඇමතිවරයාගේ ප්‍රකාශයට වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුවේ දැඩි විරෝධය පළ කරමිනි.

එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යයට නිකුත් කරන ලද වීඩියෝ දර්ශනයන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් එකී වීඩියෝ දර්ශනයේ සංස්කරණය නොකල මුල් පිටපත් වීඩියෝකරණය සිදු කල තාක්ෂණික මෙවලම සමග මෙම සිදු වීමට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන වැලිසර මහේස්ත්‍රාතුමා වෙත හැකි ඉක්මනින් ඉදිරිපත් කරන ලෙසත් අප බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බල කර සිටිමු.

කොවිඩ් වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන් භූමදානය නොකට ඉක්මනින් ආදාහනය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය මත පිහිටා මෙම රැඳවියන්ගේ සිරුරුද ආදාහනය කිරීම සිදු නොකරන ලෙසත් රජයට අප බල කර සිටින අතර පසුගිය සිකුරාදා වත්තල මහේස්ත්‍රාත්තුමා විසින් එකී සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයකින් හෝ තොරව නිරෝධායන නීතියට මුවාවී ආදාහනය කිරීමට රජය ගනු ලැබූ උත්සහය වළක්වමින් ලබා දෙනු ලැබූ අතුරු තහනම් නියෝගය පිළිබඳ අපගේ ගෞරවයද පිරිනමමු.

වැලිසර මහේස්ත්‍රාත්තුමා විසින් මෙම මෘත ශරීර සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂඥ මතයක් රජයෙන් බලාපොරොත්තුවන අතර ඒ සම්බන්ධයෙන් ස්වාධීන විශේෂඥ මතයක් රජය විසින් මහේස්ත්‍රාත්තුමාට ලබා දී මෙම පරීක්ෂණ කඩිනම් කිරීමට සහය වන ලෙසත් අප ඉල්ලා සිටිමු.

මෙම මෘත ශරීර සම්බන්ධව ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ලබා ගත යුතු බව අප රජයට අවධාරණය කරන්නේ මීට පෙරද ලංකාවේ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ලබා දුන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පසු කාලයකදී භූමදානය කල අදාළ මිය ගිය වින්දිතයන්ගේ සිරුරු ගොඩගැනීමෙන් පසු කරන ලද පරීක්ෂණ වලදී වෙනස් වී ඇති බැවිනි.

මෙම මෘත ශරීර කොවිඩ් ආසාදිතයන් හා ආශ්‍රිතයන් යැයි සඳහන් කරමින් ආදාහනය කිරීමෙන් සත්‍යය යටපත් වීමේ අවදානමක් ඇති බවද අපට පෙනී යයි. එම නිසා එක්ස් කිරණ වාර්තා ලබා ගැනීම හෝ වෙනත් කුමන හෝ තාක්ෂණික උපක්‍රමයක් භාවිතා කරමින් අපරාධයක වින්දිතයන්ට යුක්තිය ඉටු වීම යටපත් නොවන ආකාරයට තීරණයක් ගන්නා ලෙස රජයට අප බල කර සිටිමු.

ශ්‍රී ලංකාව තුළ බන්ධනාගාරයන් තුළ සිදු වුනු මෙවන් ඝාතනයන් වලදී එහි වින්දිතයන්ට යුක්තිය ඉටු වීම සිදු නොවන මට්ටමේ පවතින බවත් වර්ෂ 2012 නොවැම්බර් මස 09 වන දින සිදු වූ වැලිකඩ සිරකරු ඝාතනය සම්බන්ධ‍යෙන් වූ නඩු විභාගය තවමත් කොළඹ මහාධීකරණයේ පැවැත්වෙන බවත් මෙවන් සුවිශේෂී කාරණා වලදී අප්‍රමාදව යුක්තිය ඉටු කිරීමද රජයක අත්හළ නොහැකි වගකීමක් බවත් අප මෙහිදී අවධාරණය කරමු.

‍මෙම සිදුවීමේ වින්දිතයන්ට යුක්තිය ඉටු කර ගැනීම වෙනුවෙන් හා බන්ධනාගාරයන් තුළ රැඳවියන්ගේ සුරක්ෂිතතාවය හා පහසුකම් වැඩි දියුණු කිරීමට වදහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව හා සම්බන්ධ වී සිටින සහෝදර සංවිධානයක් වූ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ගෙන යන අරගලයට කෙන්දේසි විරහිතව වදහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව සහය පළ කරන බවද ස්ථිරව දන්වා සිටිමු.

SCAT press release on Mahara prison deaths

SCAT press release on Mahara prison deaths

Social Sharing
නවතම