
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සේවාවන් ජනතාවට වඩාත් සමීප කරමින් දිවයින පුරා නව ප්‍රාදේශීය කාර්යාල 23ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව එම කොමිෂන් සභාව පවසයි.
මෙම සියලුම ප්‍රාදේශීය කාර්යාල එළැඹෙන දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර විවෘත කිරීමට සැලසුම් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සඳහන් කළේය.
මේ දක්වා ක්‍රියාත්මක වූ ක්‍රමවේදය අනුව අල්ලස් හෝ දූෂණ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම, ප්‍රකාශ ලබාදීම සහ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා රටේ විවිධ ප්‍රදේශවල ජනතාවට කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණීමට සිදුවිය. එම අපහසුතාව අවම කිරීම සහ ජනතාවට පහසු සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් මෙම ප්‍රාදේශීය කාර්යාල ජාලය ස්ථාපිත කරන බව ඔහු පැවසීය.
නව කාර්යාල හරහා ප්‍රාදේශීය මට්ටමින් පැමිණිලි භාර ගැනීම, මූලික විමර්ශන සිදුකිරීම, නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සහ නඩු පැවරීම ඇතුළු වැදගත් කාර්යයන් රැසක් ඉටු කිරීමට නියමිතය.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා නීති නිලධාරීන්, විමර්ශන නිලධාරීන් සහ නිවාරණ නිලධාරීන් ඇතුළු නිලධාරීන් 971 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අල්ලස් හා දූෂණයට එරෙහිව ජනතා සහභාගිත්වය වැඩිදියුණු කිරීම, පැමිණිලි ඉදිරිපත් කිරීමේ ප්‍රවේශය පහසු කිරීම සහ විමර්ශන ක්‍රියාවලිය ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු අතර වේ.
