ප්‍රධාන ණයගැතියාට පෙර ඇපකරුට නඩු පැවරිය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්!

ණය ගිවිසුමක ඇපකරුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු ගිවිසුමේ නියමයන්ට අනුව වගකීම් ඉටු නොකරන්නේ නම්, ප්‍රධාන ණය ගැතියාට එරෙහිව පළමුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව ඇපකරුට එරෙහිව සෘජුවම නඩු පැවරීමට බැංකුවකට නීත්‍යනුකූල අයිතියක් ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙම තීන්දුව ලබා දී ඇත්තේ ඩී.එෆ්.සී.සී. බැංකුවෙන් ලබාගත් ණය පහසුකමක් ආපසු නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රධාන ඇපකරු වගකිව යුතු බවට වාණිජ මහාධිකරණය ලබා දී තිබූ තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම ප්‍රතික්ෂේප කරමින් වාණිජ මහාධිකරණය ලබා දී තිබූ තීන්දුව තහවුරු කර තිබේ.

නඩුවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තර්ක කර තිබුණේ, ප්‍රධාන ණය ගැතියා සහ ණය පහසුකමේ ප්‍රතිලාභියා වන සමාගම නඩුවේ පාර්ශ්වකරුවෙකු ලෙස නම් කර පළමුව ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවයි. එහෙත්, එම තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන නොමැත.

තවද, රෝම-ලන්දේසි නීතිය යටතේ සාමාන්‍යයෙන් ඇපකරුවෙකුට ප්‍රධාන ණය ගැතියාට පළමුව නඩු පැවරිය යුතු බවට ඉල්ලා සිටීමේ අයිතියක් පැවතියද, එවැනි අයිතියක් ගිවිසුම් මඟින් අත්හැරිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත.

මෙම නඩුවේදී අදාළ ඇපකරු විසින් තමන් ඇපකර ලේඛනවල අන්තර්ගතය නොදැන හිස් කඩදාසිවලට අත්සන් තැබූ බවට කළ ප්‍රකාශයද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ලේඛනයකට අත්සන් කරන පුද්ගලයෙකු නූගත්, අන්ධ හෝ ගනුදෙනුවේ ස්වභාවය තේරුම් ගැනීමට නොහැකි තත්ත්වයක නොසිටින තාක් කල්, ලේඛනයේ අන්තර්ගතය නොදැන අත්සන් තැබූ බවට කරන ප්‍රකාශය නීතිමය ආරක්ෂාවක් ලෙස සාර්ථක නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් පෙන්වා දී ඇත.

මෙම තීන්දුව මඟින් ණය ගිවිසුම්වල ඇපකරුවන්ගේ නීතිමය වගකීම් සම්බන්ධයෙන් වැදගත් නීතිමය පූර්වාදර්ශයක් ස්ථාපිත වන බව නීති විශේෂඥයන්ගේ අදහස වී තිබේ.

Social Sharing
නවතම පුවත්