
වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත හිමිනමක් සහ එම අපරාධයට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක් මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් හිමිනම අපයෝජනය ලක් වූ බව කියන දැරියගේ පියාගේ සහෝදරයා වන අතර, වයස අවුරුදු 25ක් වන බහිරවකන්ද ප්රදේශයේ විහාරස්ථානයක වැඩ වසන හිමිනමක් බවයි.
එමෙන්ම, සිද්ධියට ආධාර අනුබල ලබා දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ බහිරවකන්ද ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක කාන්තාවකි.
සැකකරුවන් දෙදෙනා පසුගිය 20 වැනිදා අත්අඩංගුවට ගෙන පසුදින (21) මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
අධිකරණ නියෝග අනුව සැකකාර හිමිනම අද (01) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහනුවර පොලිසිය විසින් සිදු කරනු ලබයි.
