
‘ගිනි මද්දහනේ මහ පාරේ ගුටි කෙළියක් …කොහෙදෝ ඉදන් මතුවුණු පොලිස් ජිප් රථයක්…ඒ අස්සේ ක්ෂනිකව සිදුවන අත්අඩංගුවට ගැනීමක්…’ ඉතිම් මේ වගේ අවස්ථාවක “කෝ වරෙන්තුව?” කියලා පොලිසියෙන් ප්‍රශ්න කරන්න ඔබට පුළුවන් ද?
ශ්‍රී ලංකාවේ නීතියට අනුව මහජන සාමය කඩවන අන්දමෙන් සිදුවන මේ වගේ වැරදි වලදී ඔබව අත්අඩංගුවට ගන්න අමුතුවෙන් වරෙන්තු අවශ්‍යය නැහැ. ශ්‍රී ලංකා පොලීසියට උසාවි වරෙන්තුවක් නැතිව උනත් ඔබව අත්අඩංගුවට ගන්න බලය අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ විශේෂ අවස්ථා කිහිපයකම දක්වලා තියෙනවා (1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත). මිනීමැරීම, සොරකම, දූෂණය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හා ජාවාරම වැනි බරපතළ අපරාධ සම්බන්ධයෙන් පොලීසියට වහාම ක්‍රියාත්මක විය හැකියි. එවැනි අවස්ථාවක වරෙන්තුවක් ලබා ගැනීමට බලා සිටීමෙන් සැකකරුවන් පලා යෑමට හෝ සාක්ෂි විනාශ කිරීමට ඉඩ ඇති නිසා පොලීසියට මෙම විශේෂ බලය ලබා දී තිබේ.
නමුත් මෙය පොලීසියට ලැබුණු අසීමිත බලයක් නොවේ. වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත්තද, සැකකරුට තමන් අත් අඩංගුවට ගන්නා හේතුව දැනුම් දිය යුතුය. තවද නීතිය ඉක්මවා නිලධාරී බලය භාවිතා කිරීම නීතියෙන් තහනම් වේ. එමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයා සධාරණ කාලයක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කළ යුතු අතර එසේ නොකිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය ප්‍රකාරව ‘පුද්ගල නිදහස’ යන්න ආරක්ෂා කෙරෙන අතර එහෙයින්ම කිසිදු පුද්ගලයෙකු නීතියෙන් නියමව ඇත්තාවූ ක්‍රියා පටිපාටියෙන් තොරව අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම සම්පූර්ණයෙන්ම මානව අයිතිවාසිකම් උල්ලංඝනයක් වේ. (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978, 13 වන ව්‍යවස්ථාව).
නමුත්, වර්තමානයේ ඇතැම් අවස්ථාවල වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීමේ බලය අයුතු ලෙස භාවිත කරන බවට චෝදනා ද එල්ල වේ. දේශපාලන බලපෑම්, පුද්ගලික පළිගැනීම්, අසාධාරණ ලෙස පුද්ගලයින් සැකකරුවන් ලෙස නම් කිරීම සහ නීතිවිරෝධී රඳවා තැබීම් වැනි බොහෝ සිදුවීම් හේතුවෙන් සමාජයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳ ජනතා විශ්වාසයද පළුදු ව තිබේ. ඇතැම් පුද්ගලයින් නීතිමය දැනුම නොමැතිකම නිසා තම අයිතිවාසිකම් පිළිබඳව අවබෝධයකින් තොරව කටයුතු කරන අතර, එම තත්ත්වයද බලය අයුතු ලෙස භාවිත කිරීමට ඉඩ සලසන කරුණක් බවට පත්ව ඇත. එබැවින් පොලිස් බලතල භාවිත කිරීමේදී වගකීම, විනිවිදභාවය සහ නීතියට ගරු කිරීම අවශ්‍ය නොව අත්‍යාවශ්‍ය වන්නකි. එමෙන්ම ජනතාවද තම මූලික අයිතිවාසිකම් සහ නීතිමය ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් වේ.
අත්අඩංගුවට ගැනීම සඳහා සෑම අවස්ථාවකම වරෙන්තුවක් අවශ්‍ය නොවුවද, එය නීතියෙන් නියම කර ඇති විශේෂ අවස්ථාවන්ට පමණක් සීමා විය යුතු බව නැවත නැවත වටහා ගත යුතුයි. පොලීසියට ලබා දී ඇති මෙම බලය අපරාධ මර්දනය සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් වැදගත් වුවද, එය පුද්ගල නිදහසට හා මූලික මිනිස් අයිතිවාසිකම්වලට හානිවන අයුරින් භාවිතා නොකිරීමට ඔවුන්ද වග බලාගත යුතුයි. ඉතිං, නීතියේ සැබෑ අරමුණ වන්නේ දඬුවම් ලබා දීම පමණක් නොව, සාධාරණත්වය, යුක්තිය සහ සමාජ විශ්වාසය ආරක්ෂා කිරීමයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතන, අධිකරණය සහ ජනතාව යන සියලු පාර්ශව මේ සඳහා එකාවන්ව- එකට එක්ව නීතිය සාධාරණ මට්ටමකට ගෙන ඒමට කටයුතු කළ යුතුයි. එවිට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වී අයුක්තියේ කුණාටුවට මැදිවූ සමාජය සාමයේ වෙරළට ළගා වන නැවක් මෙන් සුරක්ෂිත වනු ඇත.
