විශේෂ අවශ්‍යතා සහිත සිසුවෙකුට විදුහල්පතිවරයා සිදුකළ පහරදීමෙන් කන් බෙරයට ද හානි!

තලහිටිය කණිෂ්ඨ විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා සහිත 12 හැවිරිදි සිසුවෙකුට විදුහල්පතිවරයා විසින් අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදු කළ බවට එම දරුවාගේ මව වන මල්මාලබදුගේ අනුෂා නිරෝෂණි ප්‍රනාන්දු මහත්මිය චෝදනා කරයි.

අදාළ සිද්ධිය 2026 අප්‍රේල් 20 වනදා පාසල තුළදී මෙම සිදුවීම සිදුව ඇති බවත්, එහිදී දරුවාගේ දකුණු කණ ප්‍රදේශයට දැඩි ලෙස පහරදී ඇති බවත් මව පවසයි. පහරදීමෙන් අනතුරුව දරුවා කණ ඇසීමේ අපහසුතාවයකට පත්ව ඇති අතර, පසුව රෝහල්ගත කිරීමේදී කන් බෙරය පැලී ඇති බව වෛද්‍යවරුන් දැනුම් දුන් බවද ඇය සඳහන් කළාය.

මව පවසන ආකාරයට, දරුවා පාසල නිමවීමේදී බෑගයේ තිබූ කේක් එකක් ගුරුවරියකගේ මේසය මත තැබීමක් හේතුවෙන් විදුහල්පතිවරයාගේ අවධානයට ලක්ව තිබේ. ඉන් අනතුරුව විදුහල්පතිවරයා දරුවා ළඟට කැඳවා කණට හා පිටට කිහිප වතාවක් පහරදී ඇති බවත්, පසුව පන්තිභාර ගුරුවරියක් මැදිහත්වී දරුවාව බේරාගෙන ඇති බවත් සඳහන් වේ.

දරුවා එදින සවස නිවසට පැමිණීමෙන් පසු දැඩි වේදනාවෙන් සිට ඇති අතර, මව විසින් කණ පරීක්ෂා කිරීමේදී කණ ඇතුළත ලේ ගැලීමක් දක්නට ලැබී තිබේ. අනතුරුව දරුවාව රෝහල් කිහිපයකට රැගෙන ගොස් අවසානයේ නාගොඩ මූලික රෝහලේ 12 වන වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී ඇත.

වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ දරුවාගේ කන් බෙරයට හානි සිදුව ඇති බවත්, නිසි සැලකිල්ලක් නොගතහොත් කණ ඇසීම සම්පූර්ණයෙන් අහිමි වීමේ අවදානමක් පවතින බවත්ය.

මෙම සිසුවා දෘෂ්ටි දුර්වලතා, මානසික සෞඛ්‍ය ගැටලු, වචන ප්‍රකාශ කිරීමේ අපහසුතා සහ බර වැඩිවීමේ රෝග තත්ත්වයන් සඳහා දිගුකාලීනව ප්‍රතිකාර ලබන දරුවෙකු බවද මව සඳහන් කරයි. පාසලට ඇතුළත් කිරීමේ අවස්ථාවේ සිටම මෙම තත්ත්වයන් පිළිබඳව විදුහල්පතිවරයා සහ ගුරුවරුන් දැනුවත් කර තිබූ බවද දරුවාගේ මව වැඩිදුරටත් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් 2026 අප්‍රේල් 21 වනදා රෝහල් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, අප්‍රේල් 23 වනදා තෙඹුවන පොලීසිය ද ප්‍රකාශ ලබාගෙන තිබේ. පසුව විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර ඇති අතර, නඩුවේ මීළඟ විභාග දිනය 2026 ජූලි 15 ලෙස නියම වී ඇතැයි වාර්තා වේ.

දරුවාගේ මව චෝදනා කරන්නේ මෙම විදුහල්පතිවරයා මීට පෙරද සිසුන්ට පහරදී ඇති බවත්, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත්ව සිටින බවත්ය. තවද මෙම සිද්ධියට අදාල සාක්ෂිකරුවන්ගෙන් නිසි ලෙස ප්‍රකාශ ලබාගෙන නොමැති බවත්, ගුරුවරුන් හා සිසුන්ට බලපෑම් එල්ල කර සාක්ෂි වසන් කිරීමට උත්සාහ දරා ඇති බවත් ඇය පවසයි.

ඇය ඉල්ලා සිටින්නේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන හා සාධාරණ විමර්ශනයක් ළමා හා කාන්තා කාර්යාංශය හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කරන ලෙසත්, අදාළ විදුහල්පතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්ය. තවද සිය පුතුට කිසිදු බාධාවකින් තොරව අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය ආරක්ෂාව සහ සහාය ලබාදෙන ලෙසද ඇය ඉල්ලා සිටියි.

Social Sharing
නවතම පුවත්