දැරිය අපයෝජනය කළා යැයි චෝදනා එල්ලවන හිමිනම අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය!

 

අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් වරින් වර අවස්ථා ගණනාවකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂණවරයා වෙත යවා එකී රස පරීක්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට නියෝග කර තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර ඇත්තේ ගම්පහ පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ උපදෙස් මත නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපතිවරයා 22424/2026 බී අංක දරණ නඩුව මෝසමක් මගින් ඊයේ 04 යළි කැදවු අවස්ථාවේ අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගම්පහ කොට්ඨසාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට තවදුරටත් නියෝග කරනු ලැබීය.

ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව කියන 15 හැවිරිදි දැරියගේ රුධිරය සහිත ඇඳුම් මෙලෙස මෙම අපරාධමය සිද්ධියට අදාළව නඩු භාණ්ඩ ලෙස නම්කොට රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අධිකරණ නියෝග ලබා දී තිබේ.

මෙම අපරාධයෙන් අනතුරුව එම ඇඳුම් දැරියගේ නිවස ආසන්නයේ වළ දමා තිබියදී ගම්පහ පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් සොයා ගෙන තිබේ.

බාල වයස්කාර දරුවන්ට සිදුවන ‘ලිංගික හිංසන සහ වෙනත් අපරාධ’ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර නිසි නීතිමය පියවර ගැනීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 වගන්තිය මගින් විශේෂ බලයක් පොලිසියට ලබාදී ඇති බව ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු වන අනුරුද්ධ විජයරත්න කියා සිටියේ ය.

බාල වයස්කාර දරුවෙකු ලිංගික හිංසනයන්ට ලක්කිරීම හෝ වෙනත් අපරාධයක් සිදුකිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී පැය 24 ක් ඇතුළත විමර්ශන ආරම්භ කළ යුතු බවත්, එකී විමර්ශන වලදී හෙළිවන තොරතුරු මත යම් සැකකරුවෙකු හෝ සැකකරුවන් පිළිබඳව අනාවරණ වන්නේ නම් එම සැකකරු හෝ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අත්අඩංගුවට ගෙන අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම නීතිමය තත්ත්වය බව ද ඔහු අවධාරණය කළේය.

“1995 අංක 22 දරණ සංශෝධන පනත මගින් බාලවයස්කාර දරුවන් සම්බන්ධයෙන් වන ස්ත්‍රී දුෂණ, අපයෝජන, අසභ්‍ය ප්‍රකාශන, කුට්ටනය කිරීම ඇතුළු ජාවාරම් සම්බන්ධයෙන් දඬුවම් වැඩි කර තිබෙනවා. ඒ වගේම, මෙවැනි අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අපරාධ නඩු විදාන සංග්‍රහයේ 109 වගන්තිය මගින් විශේෂ බලයක් පොලිසියට පැවරී තිබෙනවා. බාලවයස්කාර දරුවන්ට සිදුවන මෙවැනි අපරාධ සම්බන්ධයෙන් ලිඛිතව හෝ වාචිකව පැමිණිල්ලක් ලද විගස විමර්ශන ඇරඹිය යුතු බව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 11 පරිච්ඡේදයේ 109 වන වගන්තිය මගින් පැහැදිලිව දක්වා තිබෙනවා. එහි සංඥෙය වැරදි සහ සංඥෙය නොවන වැරදි වශයෙන් හදුන්වා දී තිබෙනවා. සංඥෙය ගණයට වැටෙන වරදක් සිදු කර ඇති අවස්ථාවක වරෙන්තුවක් නොමැතිව ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසියට බලතල පවතිනවා. විහාරාධිපති හිමිනමක් සිදු කර ඇති බව කියන වරද සංඥෙය ගණයට අයත් වන එකක්. ඒ අනුව, බාලවයස්කාර දරුවෙකුට අපරාධයක් සිදුව ඇති බව මූලික විමර්ශන වලදී බැලූ බැල්මට පෙනී යන්නේ නම්, අදාළ සැකකරු හෝ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වෙනවා.” ඔහු කියා සිටියේ ය.

“සාමාන්‍යයෙන් බාලවයස්කාර දරුවන්ට සිදුවන මෙවැනි අපරාධයකදී වින්දිත පාර්ශ්වයේ ප්‍රකාශ සටහන් කර ගැනීම ඔවුන්ගේ නිවසට ගොස් සිදුකළ හැකි වුණත්, සැකකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකළ යුතු වන්නේ සැකකරුවන් පදිංචි ස්ථානයට ගොස් නොව අදාළ විමර්ශන කාර්යංශයට කැඳවීමෙන් පසුවයි. එහෙත් විහාරාධිපති හිමිනම සමිබන්ධ සිද්ධියේදී සැකකාර හිමිනම පදිංචි ස්ථානයට ගොස් විමර්ශන කණ්ඩායම් ප්‍රකාශ සටහන් කර ගැනීම තුළින් විමර්ශන කණ්ඩායම් එම හිමිනමට විශේෂ වරප්‍රසාද ලබාදී බව තවදුරටත් තහවුරු වී තිබෙනවා. දරුවන්ට සිදුවන මෙවැනි අපරාධ වලදී අප්‍රමාදීව විමර්ශන සිදුකර ඊට සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග අප්‍රමාදව කළ යුතු බවට අපරාධ නඩු විදාන සංග්‍රහ පනතේ පැහැදිලිව දක්වා තිබෙනවා. එහෙත් මෙම සිද්ධියේදී අප්‍රමාදභාවය පිළිබඳව ප්‍රබල ගැටලුවක් පවතිනවා.සැකකාර හිමි නමගෙන් ප්‍රකාශ සටහන් කරගත් පසුව එම හිමිනම වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබුණා.”

“මෙවැනි අපරාධමය වරදකදී මුලින් අධිකරණයට කරුණු වාර්තා කර පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදය නොවුවත්, මෙම සිද්ධියේදී පොලිසියට ප්‍රකාශ ලබාදුන් විහාරාධිපති හිමිනම අත්අඩංගුවට නොගෙන මුදාහැර අධිකරණයට කරුණු වාර්තා කිරීම තුළින් ද පොලිසිය සමාජයට වැරදි පුර්වාදර්ශයක් සපයා තිබෙනවා.”

‘ආවට ගියාට කරන්න බැහැ. මොක ද සාක්ෂිත් එක්ක යන්න ඕනේ’ – පොලිසිය

නීතිඥවරයා පවසන මෙම කරුණු සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් පවසා සිටින්නේ “ඔයා හරි… කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒකෙදි මේ හැම දෙයක්ම අධිකරණාත්මක වශයෙන් අවසන් වන නිසා නිසි සාක්ෂි තබාගෙන තමා අපි යන්නට ඕනේ.මෙතනදි පරස්පර සාක්ෂි එනවා නම්, එවා අපි හරිද, නිවැරදි ද, ඇත්ත ද නැද්ද කියලා බලන්න ඕනේ. ඒ ඔක්කම සළකා බලලා තමා නීතිපති උපදෙස් අරගෙන අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා ප්‍රවේශයක් ගන්නේ.”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් බීබීසී සිංහල විමසා සිටියේ, මෙලෙස ක්‍රියා කිරීමට හේතුව මෙම අපයෝජනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ, බලවත් මෙන් ම ප්‍රධාන පෙළේ බෞද්ධ හිමි නමකට බව පැවසෙන නිසා ද යන්නයි.

මෙම සිදුවීම පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා අවධාරණය මෙම හිමිනම අත්අඩංගුවට නොගෙන සිටින්නේ කළේ, “ඒක අදාළ නැහැ. නීතිය කාටත් එකයි.”

“මේවන විට අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ, විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් විමර්ශන කටයුතු කරගෙන යනවා.

ඒ අනුව නිට්ටඹුව ප්‍රදේශය, දඹුල්ල ප්‍රදේශය, සහ අනුරාධපුර ප්‍රදේශයේදී මෙම දියණිය අතවරයට පත්වීම සම්බන්ධයෙන් විමර්ශන ඉටු කරනවා. මේවන විට අධිකරණයට කරුණු වාර්තා කරලා අධිකරණාත්මක වශයෙන් ඉදිරි පියවර ගැනීමට ඇය සතු ඇඳුම් පැළදුම් දේපළ යන ආදිය වශයෙන් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරලා තියෙනවා.” මෙම චෝදනාව සම්බන්ධයෙන් වන පොලිස් විමර්ශනය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ වුට්ලර් කියා සිටියේය.

“කඩිනමින් මෙහි ඊළඟ විමර්ශන වාර්තාව අනුව අධිකරණාත්මක වශයෙන් පියවර ගැනීමට සූදානමින් සිටිනවා. විශේෂයෙන් නීතිපති උපදෙස් සඳහා ද යොමුවීමට හැකියාව තියෙනවා.”

“ආවට ගියාට කරන්න බැහැ. මොක ද සාක්ෂිත් එක්ක යන්න ඕනේ.” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය.

උපුටා ගැනීම BBC සිංහල

Social Sharing
නවතම පුවත්