සිනමාත්මක කම්පනය හෙවත් කම්පනීය සිනමාව.

පැතලි සැකලි රූ වෙනුවට ගැඹුරු මනුෂ්‍ය චරිත ගොඩනැංවීම කවර හෝ කලා මාධ්‍යයක් මුහුණ දෙන අභියෝගයකි. සිනමාවේ දෘශ්‍යමාන චරිත හුදු වීරයා දුෂ්ඨයා කවටයා පෙම්වතා පෙම්වතාගේ මිතුරා ලෙස ගොඩ නංවා ඒවාට වට්ටෝරුගත චරිත ලක්ෂණ ආදේශ කිරීම අසීරු අභ්‍යාසයක් නොවේ. වඩා ඉසියුම් හා දුෂ්කර කාර්යය වන්නේ වට්ටෝරුගත සිනමාවේ බොල් චරිත වෙනුවට තත්‍ය ලෝකයේ අප දකින භාවාත්මක මිනිස් ගති ඇති චරිත නිර්මාණයයි. එහි අදහස වන්නේ සිනමා කරුවාට සිනමාත්මක නිදහස අහිමි විය යුතු ය යන්න නොවේ. අප වටා ඇති අත්දැකීම් සිනමාත්මකව ප්‍රකාශ කිරීම සුහුරු සිනමාකරුවෙකුගේ කුසලතාව යන්නයි. මේ කුසලතාව සිනමාකරුවෙකු අත පත්වන පිටපතෙහි සිටම දිස් විය යුත්තක් වන අතර ශූර පිටපත් රචකයෙකු කිසියම් වස්තු බීජයකින් ආරම්භ කොට වියන්නට පටන් ගන්නා කතාවක් සාර්ථක පිටපතක් වනු ඇත.

සිනමාවේදී ලලිත් රත්නායකගේ දෙවැනි සිනමා කඩඉම වන රිවර්ස්ටන් චිත්‍රපටය එලෙස අධ්‍යක්ෂවරයා අත පත් වූ සාර්ථක පිටපතක ප්‍රතිඵලයකි. විස්මය මෙහි පිටපත් රචකයාද ලලිත් රත්නායක වීමය. 2025 වසරේ චීනයේ පැවති 27 වන ෂැංහයි චිත්‍රපට උළෙලේදී රිවර්ස්ටන් කෘතිය උදෙසා ලලිත් රත්නායකද නිලන්ත පෙ⁣රේරාද හොඳම තිර රචනයට සම්මාන දිනාගන්නා අතර ප්‍රභාත් රොෂාන් හොඳම කැමරාකරණයට සම්මාන හිමි කරගත්තේය.

2025 වසරේ පැවති 31 වැනි කොල්කටා සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය සඳහා ගෝල්ඩන් රෝයල් බෙංගාල ව්‍යාඝ්‍රයා සම්මානය ලලිත් ට හිමි විය. එම උළෙලෙහිදී රන්දික ගුණතිලක හොඳම නළුවා සම්මානයට නිර්දේශ විය.

ෆජ්ර් සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි ජූරියේ විශේෂ සම්මානයද සිංගප්පුරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙල 36 වැන්නේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයද චෙන්නායි සිනමා උළෙලේ ජූරියේ විශේෂ සම්මානයද ප්‍රංශයේ පැවති 04 වැනි ජාත්‍යන්තර සම්මාන උළෙලේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයද සිනමාවේදී ලලිත් රත්නායකට හිමි විය.

මේ සියලු ඇගයීම ලැබීමට ඔහු ඉඳුරාම සුදුසු බව රිවර්ස්ටන් චිත්‍රපටයේ කම්පනීය දසුන් ඇස ගැටුණු විට පැහැදිලි වේ. සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරින් රචනා කළ බව කියන කතාවෙහි පෙළ ගොඩ නැගීම හා තිර නාටකය අතිශය ප්‍රබල ලෙස ගොඩනැගීම සුහුරු සිනමාකරුවෙකුගේ දක්ෂතාව විදහා දක්වයි. ලලිත්ගේ මේ සමස්ත කෘතිය පුරාම දිවෙන්නේ ශෝකජනක අඳුරු වර්ණ කලාපයක පෙළ ගැසෙන දසුන්ය. ඒ ඔහු භාවිතා කළ සිනමා තාක්ෂණයයි. ඊට අත්වැල සපයන්නේ විශිෂ්ඨ කැමරාකරණයයි. මේ කෘතියේ සෑම දසුනක්ම මූලික වියමන බැඳ තබන පූන නූල වැනි ඉසියුම් මිනිස් කම්පනය නොබිඳී පවත්වා ගැනීමට දායක වීම පුදුම සහගතය. ඒ වර්ණ ඒ දසුන් මැදිදුර දුර සහ සමීප රූප ගැලපීම මෙන්ම කැමරා කෝණද කෘතියේ කූටප්‍රාප්තිය දක්වා යන ගමනේ එක තත්ත්පරයක් හෝ නොබිඳ පවත්වා ගන්නට සමත්ය. මාතලේ නගරයේදී පොලිස් පරීක්ෂකවරයා තරුණ කෙල්ලක මුණ ගැසෙන දර්ශනය පමණක් කෘතියේ රිද්මයානුකූල බව තරමක් සසල කළ බව සිතේ. නමුත් ඒ දසුන චිත්‍රපටයේ ගලායාමට වුවමනාය.

ලලිත් රත්නායකට මෙහි නළු හැසිරුම බරපතල අභියෝගයක් නොවන්නට ඇතැයි සිතමි. ඔහු තෝරාගෙන ඇත්තේ අතිවිශිෂ්ඨ රංගධරයන්ය.
ශ්‍යාම් ප්‍රනාන්දු මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර සහ ටෙලි නලුවෙකු ලෙස ඇස ගැටී ඇති ප්‍රතිභාපූර්ණ රංගවේදියෙකු බවට සුහුඹුල් වෙමින් සිටින රන්දික ගුණතිලක මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. ඔවුහු රඟපාන්නේ නැත. මේ සිනමා කෘතිය තුළ ජීවත්⁣ වෙති. මේ රංගධරයන්ගේ රංග ප්‍රභාව බිඳුවක් නෑර උකහා ගන්නට සමත් වීම ලලිත්ගේ සිනමා නිපුණත්වයයි.

යළි පැවසිය යුතු විස්මය ඒ කැමරාකරණයයි. රිවර්ස්ටන් පෙදෙසට පිවිසෙන්නට පෙර ගමන් ගන්නා මාවතෙහි හරිත මුසු වියළි කටුක වර්ණ සංකලනය (එය සීත කලාපයක සිනමාත්මක පලා පැහැය නොවේ) උපදවන අවිනිශ්චිත මනෝභාවය රිවර්ස්ටන් හී දුර මැදිදුර රූප තුළින් දුක වේදනාව තනිකම සන්තාපය වැනි හැඟීම් දනවයි. පොලිස් නිලධාරීන් සහ තරුණයා ගමන් කරන ජීප් රියට අතරමඟදී සම්මුඛ වන්නේ වතුකරයේ දෙමළ මනුෂ්‍යයෙකුගේ දෙන රැගත් අවමඟුල් පෙරහැරකි. එහිදි ජීප් රියට ආපස්සට ගොස් වෙන මඟක යන්නට සිදු වේ. එහෙත් ගමනාන්තය පෙර නිශ්චය කළ තැනමය. පොලිස් පරීක්ෂවරයාගේ චරිතය මෙන්ම සාජන්වරයාගේ චරිතයද කම්පනයට හා දෙගිඩියාවට පත්වන්නේ මෙලෙස අතුරු මගකින් වුව නිශ්චිත ගමනාන්තයට යන්නට සිදු විමේදීය. ඒ අතර තැලෙන පීඩාවට පත්වන පොලිස් කොස්තාපල්වරයාගේද නොපැතලි චරිතයය. එය රඟපාන්නේ ප්‍රියන්ත සිරිකුමාරය.

“සර්ට තව තරුවක් එකතු වෙනවා. මට තියෙන එකම තරුවත් නැති වෙනවා.” නන්දිත පොලිස් පරීක්ෂකවරයාට එසේ පවසයි. මේ ලැබීම් ලබාගැනීම් හිමි වීම් අහිමි වීම් අතර යථාවේ එක් පැතිකඩකි.

අවසානයේ රිවර්ස්ටන් නරඹන සියල්ලෝ සිනමා ශාලාවේම පාෂාණිභූත වෙති. ඒ මේ සිනමා කෘතිය කම්පනීය වන බැවිනි. සිනමාත්මක කම්පනය යනු එවැනි කෘතියක් ඇසුරු කළ විට අපට විඳින්නට සිදුවන ගැඹුරු භාවාත්මක අත්දැකීමයි.
විශිෂ්ඨ සිනමා කෘතියක් නරඹන්නට සිතන්නේ නම් දැන් ඔබට එය නැරඹිය හැකිය.

සටහන ලසන්ත ද සිල්වා.

Social Sharing
පුවත් විශේෂාංග